News

දේවානි සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර උණුසුම් විවාදයක්

දේවානි සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර උණුසුම් විවාදයක්

මීගමුව කලපුවේ රොන්මඩ ඉවත් කිරීම ඇනහිටීම පිළිබඳ ඊයේ (30 වැනිදා) පැවැති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර උණුසුම් විවාදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත.

කඩොලාන පද්ධතිය විනාශ කරමින් ගොඩකර තිබෙන පස් තවමත් ඉවත් කර නැති බව දිසාවන නිලධාරිනී දේවානි ජයතිලක මෙහිදී කියා සිටියාය.මෙවැනි තත්ත්වයක් මත කලපුවේ කෙරෙන සංවර්ධන ක්‍රියාවලියට එකඟවීමට නොහැකි බව දිසා වන නිලධාරිනිය රැස්වීමේදී දිගින් දිගටම කියා සිටියාය. එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

දිසා වන නිලධාරිනිය

මේ සම්බන්ධව තීන්දුවක් ලබාදී තිබෙනවා

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

අපි කතා කරන්නේ අධිකරණයේ තිබෙන එක නොවෙයි. අපි කියන්නේ කලපුවේ තිබෙන මේ ජරාව ඉවත් කිරීම පිළිබඳවයි. කුණු ටික, රොන් මඩ අයින් කිරීම පිළිබඳව. ඔබතුමිය වලිගය පාගගෙන කතා කරන්න එපා මෙතන. කලපුව සුද්ද පවිත්‍ර කරලා ඒ කලපුව ධීවරයන්ට ඕනේ විදිහට සහ රටට ඕනේ විදිහට හදන්න පරක්කු වෙලා තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසරය නොදීම නිසා කියන එක තමා ධීවර අමාත්‍යාංශයෙන් කිව්වේ.

දිසා වන නිලධාරිනිය

මේ වෙනකොට කලපු ව්‍යාපෘතියම වන අපරාධකරුවෙක් ගානට පත්වෙලා. මෙතන මට තියෙන එකම ගැටලුව වන නිලධාරියෙක් විදිහට මෙවැනි වන අපරාධවලට නිර්දේශ දෙන්න බැරි එක.

රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

රොන්මඩ අයින් කරන එක සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. ඔබතුමිය දැන් කියන්න මේ ව්‍යාපෘතියට අවසර දෙනවාද නැත්නම් ව්‍යාපෘතිය නවත්වන්නද කියලා. මේකට දැන් මිලියන 600ක මුදලක් යට කරලා තියෙනවා. අපරදේ පාවිච්චියට ගන්නේ නැතිව.

දිසා වන නිලධාරිනිය

ඔතන පස් අයින් කරන්න මම නිර්දේශය ලබාදෙනවා. වන අපරාධයකට නිර්දේශ දෙන්න බැහැ.

රාජ්‍ය ඇමැතිවරු

මීඩියාවලට වචන කියන එක කරන්න එපා.

රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

ඔබතුමිය මෙතන වලිගය පාගාගෙන කතා කරන්න එපා.

දිසා වන නිලධාරිනිය

මම කාවහරි අල්ලලා නඩු දානවා වන අපරාධකරුවෙක් විදිහට. ඒ දැම්මාට පස්සේ ඒ වන අපරාධකරුවා ඇවිල්ලා නඩුව නිරාකරණය කරගන්න ඉල්ලුවොත් මට ඒකට ඉඩදෙන්න පුළුවන්කමක් නෑ. ඒ වගේ තත්ත්වයක් මෙතන තියෙන්නේ.හැමෝම මට ප්‍රෙෂර් කරන එක වැරදියි. අදාළ වැරදි කරපු පාර්ශ්වයට ප්‍රෙෂර් කරන්න.ඒගොල්ලන්ට කියන්න පස් ඉවත් කරන්න කියලා. ඒගොල්ලෝ අවුරුදු දෙකක් තිස්සේ පස් ඉවත් කළානම් දැන් ඔය පෝග්‍රෑම් එක කරලා. පස් ටික ඉවත් නොකිරීම නිසා පරිසරයට බිලියන ට්‍රිලියන නොවෙයි අති විශාල හානියක් සිදුවී තිබෙනවා. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. මෙහි හෙක්ටයාර් එකකට බිලියන 290 ක ඔක්සිජන් පිට කරනවා ශාක ගහනයෙන්.එහෙම වටිනාකමක් තිබෙන පරිසර පද්ධතියක් තමයි මේ විනාශ වෙන්නේ. මෙවැනි තත්ත්වයක් මත වැරදිකරුවන් නිවැරදි කරමින් අපිට චෝදනා කරන්න එපා.

රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර

අපිත් දන්නවා ඕවා.

දිසා වන නිලධාරිනිය

ඔබ තුමන්ලා අපිට සහයෝගය දෙන්න පස් ඉවත් කරන්න.

රාජ්‍ය ඇමැති නිමල් ලන්සා

මේකෙන් පරිසරය විනාශ වෙන්නේ නෑනේ. හොඳක් වෙන්නේ. ඉස්සෝ හැදෙනවා. කකුළුවෝ හැදෙනවා. ඔක්කොම හැදෙනවා.

අපි පැහැදිලිව කිව්වා මෙතන සිද්ධි දෙකක්. එක සිද්ධියක් අධිකරණයට ගිහින් තිබෙන ක්‍රියාවලිය. ඒකට අපි අතදාන්නේ නෑ. මම වැඳලා ඉල්ලන්නේ ධීවරයන් වෙනුවෙන්, අපේ ධීවර පවුල්වලට රැකියාව කරලා කීයක්වත් හොයා ගන්න බැරිව ඉන්නේ. මොකද මේ කලපුව විනාශ වෙනවා.අපිත් කතා කරන්නේ වන සම්පත් ආරක්ෂා කරන්නයි.අපේ අමාත්‍යාංශයෙන් ලක්ෂ පහක පැළ සිටුවලා තිබෙනවා.

 

සාලිය කුමාර ගුණසේකර