Update : 6කට මරු කැඳවූ රිය තුළ ජීව උණ්ඩ 08ක් සමග පිස්තෝලයක් හමුවෙයි
වෙන්නප්පුව – නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී 20 වැනිදා අළුයම 06 දෙනෙකුට මරු කැදවමින් අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බව පොලීසිය පවසනවා.
ඉතාලියේ නිෂ්පාදිත මෙම පිස්තෝලයේ තිබී ජීව උණ්ඩ 08 ක්ද හමුවී තිබෙනවා. එම ගිනි අවිය අනතුරට පත්වූ මෝටර් රථයේ දොරක් තුළ සගවා තිබියදී සොයාගෙත ඇති අතර, එය කාට අයිති එකක්ද? කුමන කටයුත්තක් සදහා රැගෙන ගියාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සදහන් කරන්නේ.
සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.
ජුඩ් සමන්ත ————————————————————————————————————————
නයිනමඩමේ රිය අනතුරකින් පුද්ගලයින් 6ක් මරුට – 3කට තුවාල
කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
පොලීසිය සඳහන් කළේ අද අලුයම 3.15 ට පමණ මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි.
නයිනමඩම පාලම අසලදී හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ මාළු ලොරියක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
තුවාලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් අයෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සාදයකට සහභාගීවී පැමිණෙමින් සිටි පිරිසක් එලෙස මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ.
මියගිය සියලු දෙනා මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් වන අතර ඔවුන් වෙන්නප්පුවේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.