News

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන පැවරීමද නිශ්චය කර ඇති බව නිවේදනය කර ඇති බව සඳහන් වනවා.

එමෙන්ම අදාළ අමාත්‍යවරුන් භාරයේ පැවතිය යුතු විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්තාපිත ආයතන අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ද, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද ආරක්ෂක අමාත්‍යවරයා යටතට පත් කර තිබෙනවා.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යධුරය දරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට ජාතික තරුණ සේවා සභාව, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදිය පත් කර තිබෙනවා.

එමෙන්ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා යටතට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ලේක්හවුස් ආයතනය ද පවරා ඇති බව සඳහන් වනවා.