News

නව ජනපතිගේ පාර්ලිමේන්තු රැස්වීමට ලහි ලහියේ වැඩ

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් යුක්තව පවත්වන පාර්ලිමේන්තු රැස්වීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කරමින් සිටින බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

නව ආණ්ඩුව පත් වූ පසු මේ සඳහා දිනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවද හෙතෙම පැවසීය.

මීළඟ පාර්ලිමේන්තු රැස්වීම මේ වනවිටත් දෙසැම්බර් 03 වැනිදා පස්වරු 1.00 දක්වා කල් තබා තිබේ. එහෙත් අවශ්‍ය නම් අගමැතිවරයාගේ උපදෙස් මත එම දිනයට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයාට පියවර ගත හැක.

ඒ අනුව දැනට සිටින හෝ නව ආණ්ඩුවක් යටතේ පත්වන අගමැතිවරයා විසින් දෙසැම්බර් 03 වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමටත්, එදිනම හෝ ඊට පසු දිනක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමටත් ඉඩ ඇති බවත් වේත්‍රධාරිවරයා ප්‍රකාශ කළේය.

අජිත් අලහකෝන්