නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ගොවීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(05) කැඳවනු ලැබීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වූ ජල කාන්දුව මේ වන විට සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කර ඇති බවත් ගොවීන්ගේ ගොවිබිම්වල පවතින භූගත ජල මට්ටම මේ වනවිට යහපත් මට්ටමක පවතින බවත් මේ හේතුවෙන් ඔවුන්ට ඉදිරියේදී වගා කටයුතු කිරීමට හැකියාවක් පවතින බවයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට ගෙවිය යුතු වන්දි පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් තක්සේරුවක් සිදුකළ බවත් එම දෙපාර්තමේන්තුව විසින් සිදුකල තක්සේරු වටිනාකමට සමාන වන්දි මුදලක් ගෙවීමට රජය කටයුතු කර නැතැයි එතුමා චෝදනා කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජූලි මස 20 වනදා අධිකරණයට ගොවීන්ට දැනට ගෙවා තිබෙන වන්දි හා ගෙවීමට නියමිතව තිබෙන වන්දි මුදල් පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළේය.
