News

පස්සරදී අතුරුදන් වූ ගවයින් හම්බන්තොටින් සොයාගනී

පස්සර පොලිස් වසමේ එල්ටැබ් වතුයායේ කිතුල්කැලේ ප‍්‍රදේශයෙන් ඉකුත් 23 වන දින රාත‍්‍රියේ අතුරුදන්වූ එළ ගවයින් තිදෙනෙකු සහ කුඩා වසු පැටවෙකු හම්බන්තොට ප‍්‍රදේශයෙන් සොයාගැනීමට හැකිව තිබේ.

පස්සර කිතුල්කැලේ කොටසේ පදිංචි යූ.එම්. යෝගේෂ්වරන් නැමති පුද්ගලයෙකුට හිමි එළ ගවයින් තිදෙනෙකු සහ කුඩා වසු පැටවෙකු පසුගිය 23 වන දින රාත‍්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට පස්සර පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව ක‍්‍රියාත්මකවූ පස්සර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රත්නවීර එල්. අඩස්සූරිය මහතාගේ උපදෙස් මත උ.පො.ප ප‍්‍රනාන්දු, පො.කො. (54239) සමන්, පො.කො. (54251) සෙනෙවිරත්න, පො.කො. (39315) රාජපක්ෂ යන මහත්වරුන් පරීක්ෂණ සිදු කලේය. පොලීසිය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිට ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය 24 වන දින මෙම ගවයින් හම්බන්තොට ප‍්‍රදේශයේදී හම්බන්තොට පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එහිදී සැක කරුවන් තිදෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හම්බන්තොට සහ බේරුවල පදිංචිකරුවෝ වෙති. මෙම ගවයින් මස් කිරීම පිණිස ගෙන යමින් සිටියදී සැකකාර පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ගවයින් නිදහස් කර ගැනීමට පොලීසියට හැකිව තිබේ. සංවිධානාත්මකව සිදුකර ඇති මෙම ගව සොරකම සම්බන්ධයෙන් පස්සර පොලීසය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පස්සර පොලිස් ස්ථානයේ උසස් නිළධාරියෙක් සඳහන් කර සිටියේ.