පසෙන් උපදින පාංශු උණ මාරාන්තිකයි!
මේ දිනවල ජලයෙන් සහ පස් මගින් හටගන්නා බැක්ටීරියාවක් නිසා මෙලියඩෝස් හෙවත් පාංශු උණ නමැති රෝගී තත්ත්වයක් පැතිර යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මෙම බැක්ටීරියාව පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් හටගත් එකක් බවත්, පාදවල පවතින තුවාල සහ අපිරිසිදු ජලය භාවිතයෙන් ශරීරගත වන බවත් ඔවුන් පවසනවා. විශේෂයෙන්ම මෙම බැක්ටීරියාව ආසාදනය වෙන පුද්ගලයන් අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි බවත් ඇතැමුන්ට මාරාන්තික තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් වෛද්‍යවරුන් මේ වනවිට අනතුරු අඟවා තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්ය ඉනෝකා කොරයා මහත්මිය ‘පාංශු උණ’ ගැන වැඩිදුරටත් පැහැදිලි කරමින් කිව්වේ මෙහෙම කතාවක්.
“මේ රෝගය පසෙනුයි, අපිරිසිදු ජලයෙනුයි ආසාදනය වෙන නිසා එදිනෙදා වැඩ කරනකොට පසට, ජලයට වැඩිපුර නිරාවරණය වෙන අයට පහසුවෙන්ම වැළඳීමට ඉඩ තියෙනවා.
දැන් මෙහෙම කිව්වාම ගොඩක් අයට හිතෙන්න පුළුවන් මේක ගොවිතැන් කරන, හේන් කොටන උදවියට විතරක් සීමාවුණ රෝගයක් කියලා. ඇත්තමට ඒක වැරදියි. මොකද මේ වෙනකොට පාංශු උණට ප්‍රතිකාර ගන්න රෝගීන් අතරේ ගොවියෝ ඉන්නේ සීමිත පිරිසක් විතරයි. අනෙකුත් පිරිස අතරේ ගෘහිණියගේ ඉඳලා පාසල් දරුවාට යනකම්ම රෝගීන් ඉන්නවා.”
මෙම රෝගය ආසාදනය වී දින දෙකේ සිට සති දෙකක් දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි ඇය කියන්නේ.
“විශේෂයෙන්ම කියන්න ඕනේ පාංශු උණ රෝගියෙක් කිසිම වෙලාවක නිශ්චිත රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නෙ නැහැ. හැම රෝග ලක්ෂණයක්ම එක්කෙනෙකුගෙන් එක්කෙනෙකුට වෙනස්. ඒ නිසා රෝගීන්ව පරීක්ෂා කිරීමේදි සහ හඳුනාගැනීමේදි බොහෝවිට වෛද්‍යවරුන් පවා තරමක අපහසුතාවයකට පත්වෙනවා.
උදාහරණයක් විදියට මේ රෝගය වැළඳෙන සමහරක් පුද්ගලයන්ට මොළයේ, අක්මාවේ සහ පෙනහලුවල සැරව ගෙඩි ඇතිවෙන්න පුළුවන්. තවත් සමහරුන්ට පාදවල සහ සන්ධි ආශ්‍රිතව දරුණු ආසාධිත තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යම්කිසි විදියකින් රෝගය වැඩි දවසක් ශරීරගත වෙලා තිබුණ පුද්ගලයෙකුට නම් මොළේ උණ සහ නිව්මෝනියා තත්ත්වයක් වුණත් ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා.”
එමෙන්ම මෙම රෝගය ඕනෑම වයසක සිටින පුද්ගලයෙකුට වැළඳිය හැකි බවත්, මේ වනවිටත් මෙයට ප්‍රතිකාර ගන්නා පිරිස අතර අවුරුදු දෙකේ සිට අනූදෙක දක්වා පුද්ගලයින් සිටින බවත් ඇය පවසා සිටියා.
“විශේෂයෙන්ම සාමාන්‍ය පුද්ගලයන්ටත් වැඩිය නිදන්ගත රෝගවලට ප්‍රතිකාර ගන්න උදවිය මේකෙන් ආරක්ෂා වෙන්න කටයුතු කරන්න ඕනේ. මොකද පාංශු උණ කල්තියා අඳුනගත්තු සාමාන්‍ය පුද්ගලයෙකුට කෙටි කාලයක් ප්‍රතිකාර කරද්දි උණ තත්ත්වය අඩු වුණත් අර උදවියට ඒ විදියට සුවවෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.
උදාහරණයක් විදියට මේ වෙනකොට පාංශු උණට ප්‍රතිකාර ගන්න එන රෝගීන් අතරේ 70%ක්ම ඉන්නේ දියවැඩියා රෝගීන්. ඒ අතරේ අක්මා රෝගවලට, වකුගඩු රෝගවලට සහ තැලිසීමියාවට ප්‍රතිකාර ගන්න රෝගීනුත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. අනික මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කරන පුද්ගලයන්ට මේ රෝගය ඉතාමත් දරුණු විදියට බලපාන්න පුළුවන්.”
මේ වනවිට මෙරටින් වාර්තා වෙන පාංශු උණ රෝගීන්ගේ මරණ අනුපාතිකය 25%ක් දක්වා ඉහළ ගොස් ඇති බවකුත් ඇය පවසා සිටියා.
“මේ වෙද්දී අපේ රටේ මධ්‍යම කඳුකරයේ හැරුණම අනෙකුත් සියලුම පළාත්වල මෙම රෝගය ඉතාමත් සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඒ වගේම ගොඩක් උදවිය මේ රෝගයට ගොදුරු වෙලා ඉන්නෙත්, ගොදුරු වීමේ අවදානමක් තියෙන්නෙත් ඒ අයගේ නොසැලකිල්ල නිසා. මොකද වෛද්‍යවරුන් කොයිතරම් උපදෙස් දුන්නත් ගොඩක් උදවියට එළි පහලියට යනකොට පාවහන් පැළඳලා පුරුද්දක් නෑ. උණු කරලා නිවාගත්තු වතුර ටිකක් බීලා පුරුදු නැහැ. අනික මේ දවස්වල තියෙන මෝසම් කාළගුණයත් එක්ක නොයෙක් විදියේ වෛරස්, බැක්ටීරියා සීඝ්රයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. නමුත් තම තමන්ගේ ආරක්ෂාව ගැන තම තමන් සැලකිලිමත් නම් මේ තත්ත්වය යම්තාක් දුරකට මගහැරවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම නැවත වරක් කොවිඩ් වසංගතයත් එක්කම ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා සහ මී උණ වගේ වෛරස් ප්රභේදත් හිස ඔසවන්න පටන් අරගෙන. ඒ ඇරුණම මේ දවස්වල වෛරස් උණ රෝගියෙක් නැති ගෙදරක් හොයාගන්නත් නැතිතරම්. ඒ නිසා කිසියම් පුද්ගලයෙකුට දවස් දෙක තුනකට වැඩිය අඩු නොවෙන උණක් තියෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න අවශ්‍යයි. ඒ වගේම රෝගී වෙන්න කලින් තමන් කටයුතු කළ ආකාරය, ආගිය තැන් ගැනත් වෛද්‍යවරයාට නොසඟවා කියන්න පුළුවන් නම් රෝග නිශ්චයේදී ඔවුන්ටත් එය පහසුවක් වේව්.”
ලිහිණි මධුෂිකා