පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලය පිලිබඳ අවසන් තීරණය අද
පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් අද (05) දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලු පළාත් සභාවල මැතිවරණය එළඹෙන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණු අතර එම යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙයි..
අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අතර ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයේ පළාත් සභා මැතිවරණය පැරණි අනුපාත ක්‍රමයට පැවැත්විය යුතු බවට යෝජනාවක් සිදුකර ඇත.
ඒ අනුව සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය 2017 වසරේදී අවසන් වූ අතර එම පළාත් සභා තුන මේ වන විට ආණ්ඩුකාර පාලනයකට යටත්ව ඇත. එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත්සභා තුනෙහි කාලය අවසන් විය.
දකුණ සහ බස්නාහිර පළාත් සභාවල ධුර කාලය අප්‍රේල් මාසයේ දී අවසන් වන අතර ඔක්තෝබර් මාසයේදී ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතය.