News

ප්‍රසන්නගේ නඩුව ලබන මස 01 වෙනිදා දක්වා කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(17) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ එම නඩු විභාගය පැවැත් වී ඇති අතර එම නඩුවේ පැමිණිලිකාර ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් නමැත්තාගෙන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් හරස් ප්‍රශ්න ඇසීම අවසන් කර ඇත.

රජයේ පාර්ශවයෙන් නැවත ප්‍රශ්න විමසීම ලබන මස 01 වනදා දක්වා කල් තබා ඇති බවට වාර්තා වෙයි.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේශ් කුමාර් ෆාරික් නැමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින බැවින් ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

අදාළ පුද්ගලයින් දෙදෙනා චෝදනා එල්ල වී ඇත්තේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීම සඳහා අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර බහලාත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටිමය.