News

පාතාලය මර්ධනය කරන්න ත්‍රිවිධ හමුදාවේත් සහය

රට තුළ ඇතිව තිබෙන ඝාතන රැල්ල නැවැත්වීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව අස්ගිරි හා මල්වතු මහ නා හිමිවරුන් බැහැදැකීමට අද (15) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද(15) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි හා මල්වතු මහ නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

“වැඩපිළිවෙලක් අපි ආරම්භ කර තිබෙනවා. පොලීසියට අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාව යොමු කරවීමට අපි කටයුතු කරලා තිබෙන්නේ. ගොඩක් දුරට පාතාල කල්ලි අතර සිදුවෙන සිදුවිම් තමයි මේ මරණ වලට හේතු වී තිබෙන්නේ.

ඉතින් අපි ඒ පාතාල කල්ලි මර්දනය කරන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. පොලීසියෙන් ඒක කරගෙන යනවා. ටික කාලයක් යනවා. එක දවසකින් මාසෙකින් කරන්න බෑ. යම් කිසි කාලයක් යනවා. ළගඳිම යපහත් තත්ත්වයක් ඇතිවෙයි කියලා මම හිතනවා.

පසුගිය කාලයේ යුද්ධය අවසන් වී පසු උතුරින් හා නැගෙනහිරින් ආයුධ පාතාල කල්ලිවලට ඇවිත් තිබෙනවා. ඒ ආයුධ පොලීසිය අතට ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.”

වීඩියෝ දර්ශන – මහනුවර – හේරත් බණ්ඩාර