News

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි – ආණ්ඩුවට එහෙිව විශ්වාසභංගයක්

පාර්ලිමේන්තුව අද (16) දිනයේ දී යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

කථානායකවරයා සමග ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබුවා.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය කැදවීමෙන් අනතුරුව ඇතිවූ උදෑසන සුපුරුදු ආකාරයෙන් කටයුතු සිදුකර ගෙන යාමට කටයුතු කළද, මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයත් හටගත්තා.

ඉන් අනතුරුව කථානායකවරයාගේ අසුන වටා රොක් වූ මන්ත්‍රීවරුන්ගේ දැඩි කලබලකාරී ලෙස හැසිරීමත් සමග කථානායක කරූ ජයසූරිය අසුනෙන් නැගිට ගියේ පාර්ලිමේන්තුව කිසිදු කල්තැබීමකින් තොරවයි.

අනතුරුව ඊයේ පස්වරුවේ කතානායක නිල කාමරය තුළ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැදවනු ලැබුවා.

එම රැස්වීම අතරතුර පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා දක්වා කල්තැබීමට යෝජනා වූ අතර, රැස්වීම අවසානයේ අද පස්වරු 1.30ට නැවත පාර්ලිමේන්තුව රැස්කිරීමට තීරණය කළා.

මේ අතර ඊයේ රාත්‍රීයේදි ජනාධිපති කාර්යාලයේදි කථානායක, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණා.

එහිදී පක්ෂ නායකයින් විසින් පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බවට ප්‍රකාශ කර තිබෙනවා.

එසේ නම් පාර්ලිමේන්තුව තුළ බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ට පවසා තිබෙනවා.

පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව නැවත අද දිනයේ ඉදිරිපත් කර මන්ත‍්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් පවත්වන ලෙසට ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.