පාරෙ ඉඳන් කජු විකුණන එක කජු කනවා තරම් ලේසි නෑ
නුවර පාරේ නිතරම යනෙන මට එහි ප්‍රියතම ඉසව්ව පස්යාලත් වේවැල්දෙණියත් අතර කජුගමය. ඒ එකී ඉසව්වේ පාර දෙපස අඩියෙන් අඩියට සිටින කජු ලියන් නිසාය. ඔය ඉසව්වේදී කාගේත් ඇස් බෝරිච්චි මල් හැට්ටයත් ඊටම ගැළපෙන චීත්ත රෙද්දත් ඇඳ පාර දෙපස කජු වෙළඳාම් කරන ලඳුන් දෙසට නොහැරුණොත් පුදුමය. අස්ප වේගයෙන් යන වාහනවල පවා වේගය කජුගමදී මට්ටු වෙන්නේ ඒ සුන්දර කජු ලියන්ගෙන් ලැබෙන ආරාධනාව නිසාය.
පහුගිය සතියේ දිනක නුවර පාරේ කොළඹට එමින් සිටි අපට ද කජුගමදී ඒ සුපුරුදු ඇරයුම ලැබිණි. කජු කෑමට තිබූ ආසාවත් මල් ගවුමින් සැරසුණු හැඩකාර යුවතියන්ගේ හිනාවත් නිසා ඒ ඇරයුම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් අපට ද නොතිබිණි.
පැකට් එකක් රු. 100යි කී නිසා මා කජු පැකට් කිහිපයක් මිල දී ගන්නා අතරේ අපේ සහෝදර ඡායාරූප ශිල්පියා ඔවුන්ගේ සේයා රූ කිහිපයක් ද ඔහුගේ කැමරා කාචයේ සටහන් කරගෙන තිබිණි. කජු තරමටම ඒ සිනා කැන් ද සොඳුරු නිසා මෙවර ‘ධරණී’ කවරය හැඩ කරනන්ට අපි ඒ සේයා රුවක් යොදාගත්තෙමු.
අපේ කණ්ඩායමේ කට්ටියක් කජු කන අතරේ සහ කට්ටියක් ඡායාරූප ගන්නා අතරේ ඒ අසල කජු විකුණමින් සිටි නාලිකා අත්තානයක සමඟ කජු කයිවාරුවක් ගහන්නට මා ඒ අසල ඉඳගත්තෙමි. කජුගම එක්සත් කජු ලියන්ගේ සභාපතිනිය වූ ඇගෙන් මා මුලින්ම ඇහුවේ කජු වෙළඳාම කජු කනවා තරම්ම පහසු එකක්ද යන්නයි.
“ඉස්සර තරම් නම දැන් මේ රස්සාව ලේසි නෑ. කජු විකුණන එක පරම්පරාවෙන් පරම්පරාවට එන රස්සාවක්. අපේ පවුලේ හැමෝම මේක කරලා තමයි ජීවත්වුණේ. මං කජු විකුණන්න ගත්තේ 1981 දී. මුලින්ම කජු විකුණනකොට මට 16යි. මගේ අක්කලා නංගිලා හැමෝම කළේ මේ රැකියාව.”
නාලිකා කතාවට මුලපිරුවේ එහෙමය. 56 හැවිරිදි ඇය පරම්පරා උරුමය සමඟින් 40 වසරක් පුරාවට කජුගම ප්‍රධාන මාර්ගය දෙපස කජු විකුණයන්නීය.
“මීට අවුරුදු ගාණකට කලින් හත් අටදෙනෙක් මේ විදියට මෙතැන කජු වෙළදාම් කරන්න පටන්ගත්තා. පස්සේ ටිකෙන් ටික වෙළඳාම් කරන අය වැඩිවුණා. හැබැයි දැන්නම් පාරේ මේ විදියට කජු වෙළඳාම් කරන අය අඩුයි.”
මේ අතරින් ඇතැම් කජු ව්‍යාපාරිකාවන් වසර ගණනාවක සිට කජු අලෙවියේ යෙදෙන්නියන්ය. තවත් අය මෑත කාලයේදී ඊට යොමුවූ අයයි.
“මෙහෙට කජු ගේන්නේ කුලියාපිටියෙන්. කුරුණෑගල, වාරියපොල, පුත්තලම, මන්නාරම වගේ පැතිවලිනුත් ගේනවා. අමු කජු ගෙනත් ඒවා වේලලා පැකට් කරලා තමයි අපි විකුණන්නේ.”
නාලිකාලා මේ වෙළඳාම පටන්ගන්නේ උදේ අටට නවයටය. එතැන් පටන් රාත්‍රි නවය දහය වෙනතුරුත් ඔවුන් මහපාරේ ය. ඒ නිසා අව්ව හෝ වැස්ස ගැන මේ දිරිය ලියන්ට තැකීමක් නැත.
“ඉස්සර නම් කජුවලට හොඳ ඉල්ලුමක් තිබුණා. දැන් මිල වැඩි නිසා ඉස්සර තරම් ඉල්ලුමක් නෑ. ඒ දවස්වල නුවර යන විදෙස් සංචාරකයෝ වුණත් අපෙන් කජු නොකා යන්නෑ. නුවරට හයිවේ එක හැදුවට පස්සේ සංචාරකයෝ ටික නැතිවුණා. මේ පාරෙන් ගියොත් යන්නේ ඉන්දියාව වගේ රටවල සංචාරකයෝ. ඒ අය වැඩිය කජුවලට කැමති නෑ. ඉස්සර අපේ උදවියත් අපෙන් කජු නොකා මෙතැනින් ගියේ නෑ.”
නාලිකා කී පරිදි මේ දිනවල කජු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 6000 – 6500 අතර මිලකටය. ඒ නිසා කජුගම කජු ලියන්ගේ ආදායමත් දැන් ඒ කාලේ තරමටම සුබ නැත.
“අපි දරුවන්ට කන්න බොන්න දුන්නේ විතරක් නෙමේ ගෙවල් දොරවල් පවා හැදුවේ කජු විකුණලා. කජු විකිණෙනවා අඩු නිසා දැන් නම් ඒවා කරන්න තියා හිතන්නවත් බෑ. ගොඩක් අය මේක අතඇරලා වෙනත් රැකියා හොයාගන්නවා. ඉස්සරහට මේ වගේ පාර දෙපැත්තේ තියාගෙන කජු විකුණන අය දකින්න ලැබෙන එකක් නෑ. වැඩිම වුණොත් අපෙන් පස්සේ තව එක පරම්පරාවක් මේ රැකියාව කරයි.”
කජු ලියන්ට ආවේණික ඇඳුමක් ඔවුන්ම සකසාගෙන ඇත. ඒ බෝරිච්චි අත් දැමූ වෛවර්ණ මල් හැට්ටයත් ඊටම සරිලන චීත්තයත්ය. එහෙත් දැන් දැන් ඒ සම්ප්රදාය ද වෙනස් වෙමින් පවතින බව සිතුවේ කජු ලියන් විවිධ ඇඳුමින් සැරසී සිටිනු දුටු නිසාය.
“කොවිඩ් කාලේදි අපේ බිස්නස් හොඳටම වැටුණා. කජු ගන්න මිනිස්සු පාරට ආවෙ නැහැනේ. ඉතින් කට්ටිය ගෙදරට අඳින ගවුමෙන් ඇවිත් තමයි පැයක් දෙකක් බිස්නස් කළේ. ඒ පුරුද්දට දැන් කජුගම ආවේණික ඇඳුම අඳිනවා අඩුයි.”
මහපාරේ කජු විකුණන සුන්දර ලියන්ට පාරේ යන අනංගයින්ගෙන් ආදර යෝජනා එහෙම එන්නේ නැතිදැයි ඇහුවේ එවැනි දේවල් සිදුවීමට ඇති ඉඩකඩද වැඩි නිසාය. ආදර කතා කෙසේ වෙතත් අහිමිරි සිදුවීම් නම් ඕනෑතරම් අත්විඳ ඇති බවයි ඒ පැනයට පිළිතුරු ලෙස ඈ කීවේ.
“බයික්වලින් කට්ටිය ඇවිල්ලා කජු විකුණන ගෑනු ළමයිගේ මාල කඩාගෙන යනවා. සමහරු වාහනවල යද්දි කජු පැකට් ඇදගෙන යනවා. ඒ වෙලාවට පාඩුව විඳගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. සමහර පිරිමි අය අනවශ්‍ය විදියට කතා කරන්න ආපු අවස්ථාත් නැතිව නෙමේ. අවුරුදු ගාණක් රැකියාව කරලා තියෙන නිසා ඒ අයව මගඅරින්න අපි දන්නවා.”
නාලිකාට දරුවන් පස්දෙනෙකි. ඉන් දෙදෙනෙක් ගැහැනු ළමයින්ය. කවර ඡායාරූපයේ කොළ පැහැති ගවුමකින් සැරසී සිටින්නේ ඇගේ දියණියයි. නිවාඩුවේ ඉන්නා නිසා ඒ මොහොතේ මවගේ ව්‍යාපාරයට උදව් කරන්න පැමිණියත් ඉදිරියට කජු ව්‍යාපාරය කිරීමට ඔවුන්ගේ නම් වැඩි කැමැත්තක් නැත. ඒ නිසා නාලිකාට පසු ඒ පවුලේ කජු ලියක් නැත. ඒ නමුත් කජුගම සමස්ත කජු ලියන් ගැන සිතා අවසානයේ මෙසේ පැවසුවාය.
“අපි මේ වෙනකොට දුෂ්කර කාලයක් ගෙවන්නේ. රජය මැදිහත්වෙලා හරි නිසි වැඩපිළිවෙලක් දියත් කරනවා නම් හොඳයි. මහපාරෙන් එහාට ගිහින් හොඳ වෙළඳපොළක් නිර්මාණය වෙනවා නම් අපිත් කැමතියි. එහෙම නොවුණොත් අපෙන් පස්සේ කජුගම කියන්නේ ගමක නමක් විතරයි.”
ඊළඟට අප කතා කළේ 29 හැවිරිදි තමාලි මධුෂානි සමඟය. කවරයේ කහ පැහැති ගවුමකින් සැරසී සිටින ඇය මව සමඟ කජු වෙළඳාම් කරන්නීය.
“අපි කජු විකුණන්නේ ගේ ඉස්සරහා තියාගෙන. මමත් ඉතින් අම්මත් එක්ක උදව්වට මෙතැනට වෙලා ඉන්නවා.”
තමාලි උසස්පෙළ සමත් වුවද සරසවි වරම් අහිමිව ගිය නිසා මව සමඟ කජු අලෙවියට එකතුව ඇත්තේ මීට වසර කිහිපයකට පෙරය.
“උසස්පෙළ පාස්වෙලත් පාර අයිනේ ඉඳන් කජු විකුණන්නේ ඇයි කියලා ගොඩක් අය මගෙන් අහනවා. ඒත් මං මේක කරන්නේ හරිම සතුටින්. මේක මට හරි නිදහස්.”
තමාලිගේ අම්මා හැරුණුකොට පියා කජු ව්යාපාරිකයෙක්ය. ඔහුට කජුගම කජු කඩයක්ද ඇත. එහෙත් රටේ පවතින ආර්ථික ගැටලු හමුවේ කජු ව්‍යාපාරිකයින් බොහෝදෙනා වෙනත් රැකියා සදහා යොමුවී ඇති බවයි තමාලි ද කීවේ.
“මගේ වයසේ වෙනත් අය නම් දැන් මේ රස්සාව කරන්න ආස නෑ. එයාලා ජොබ්වලට කොළඹ යනවා. කජුවලට හොඳ වෙළඳපොළක් නැති එකයි ඒකට හේතුව. මොකද මිල වැඩි නිසා අපේ රටේ සාමාන්‍ය මනුස්සයෙක්ට කජු කන එක හීනයක්. අලුත් අය දැන් මේ රස්සාවට නොඑන නිසා තව අවුරුදු කීපයක් යද්දි කජුගම පාර දෙපැත්තත් හිස්වෙයි. ඒක මතක් වෙද්දි හිතට ලොකු දුකක් දැනෙනවා. මොකද අපි පුංචි කලේ ඉඳලා ජීවත්වුණේ කජු රස්සාව නිසානේ.”
අනාගතයේදී හිස්වෙතැයි සිතිය හැකි කජු ලියන් නොමැති කජුගමක් ගැන තමාලි කීවේ සංවේදීවය.
මාර්තු අට කාන්තා දිනයට පෙරාතුව නිකුත් වන අද ‘ධරණී’ කවරය අභියෝග, අව්වැසි මැද ජීවන ගමන සරි කරගන්නට සටන් කරන කජුගම දිරිය ලියන්ගේ සොඳුරු ඡායාරුවකින් සරසන්නට අපට ඉඩ ලැබුණේ ඔය අයුරින්ය.
(පිළිවෙළින් තමාලි මධුෂානි, කසුන්දි භාතිකා, ඉඳුවරී නිමංශා)
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
හැඩගැන්වීම – සැලෝන් ආශි, නුවර පාර, රදාවඩුන්න