News

පාසල් දරුවන් කොරෝනා වාහකයකු කරන්න ඉඩ දෙන්නේ නෑ

විවිධ අරමුණු හිතේ තියාගෙන එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන්  මොනතරම් බොරු ප්‍රචාරය කළත් පාසල් දරුවන් කිසිසේත් වාහකයකු  කරන්න ඉඩ දෙන්නේ නෑ. 20 වැනිදා පාසල් විවෘතකරන බවට බොරු  ප්‍රචාර යවනවා. ලෝකයේ අනෙක් රටවල් ඒ ගැන හිතන්නත් කලින්  රජය පාසල් වසා දරුවන් ටික ආරක්ෂාකරගන්න කටයුතු කළ බව අධ්‍යාපන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  මහතා පැවසීය.

මාතර දිස්ත්‍රික් කොරෝනා කළමනාකරණ කමිටුවට 17 දින එක්වෙමින් එලෙස පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද  පැවසීය.

අපි පාසල් විවෘත කිරීම පිළිබඳ දිනයක් දැනට ප්‍රකාශයට පත්කර  තිබෙනවා. ඒ මැයි මස 11 දින. එම විවෘතකිරීම කරන්නේත සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි. එසේ නොමැතිව අපි  අත්තනෝමතික තීන්දු වලට යන්නේ නෑ. කිසිසේත් දරුවන්ට  කරදරයක් වන්න අපි ඉඩතබන්නේ නෑ.  ඇමරිකාවේ ආණ්ඩුව හා රෝහල් පසුපස ලෙඩ්ඩු දුවනවා. අපේ  ආණ්ඩුව, බුද්ධි අංශ ලෙඩ්ඩු හොයා හොයා ඹවුන් පිටුපස දුවනවා.

මේ වෙනස නොතේරෙන අයගේ කතා ගැන තව කතා මොකටද?  කොරෝනාට එරෙහි සටන කරන්නේ තනි පුද්ගල මතයකට නොවෙයි. කණ්ඩායමක් ලෙස. තීන්දුගන්නේ කණ්ඩායමක් ලෙස සාකච්ඡාකර.
ක්‍රියාත්මක කරන්නේත් එහෙමයි.

ලෝකයේ කිසිදු රටක නැති විදියට ජනතාවට සහන සලසන්න රජය ක්‍රියාකළා. ඒ ශක්තිමත් භාණ්ඩාගාරයක් තියාගෙන නොවෙයි. ආර්ථිකයේ ප්‍රශ්න, අපහසුතා තිබුණත් මේ බැරෑරුම් මොහොතේ  ජනතාව ඉන්නා අමාරරුව රජය හොඳින්ම හඳුනාගෙනයි  වැඩකරන්නේ.

රජයේ සේවකයින් නොවන අනෙක් සියළු දෙනාට රජය උදව්කළා. සහන දුන්නා.  මේ ව්‍යාසනයේදී පළාත් පාලන ආයතන අති විශිෂ්ට සේවාවක්  සිදුකළා. සුළු සිදුවීම් අල්ලාගෙන ප්‍රවෘත්ති ගහන විට මාධ්‍ය ආයතන  මීට වඩා කල්පනාකාරීව ප්‍රවෘත්ති සැකසීම කරන්න ඕන.

මේ කරනා  මහා සේවය අවතක්ෂේරුකරන හෝ බිඳවැටෙන් දේ කිරීම සුදුසු නෑ.  අපි දිස්ත්‍රික්කයක් වශයෙන් හා රටක් වශයෙන් කොරෝනා  වෛරසයට එරෙහිව එය පාලනය කිරීම සඳහා ක්‍රියාකරමින් ඉන්නවා.   ඒ ගැන ලෝකයම අවධානයට ලක්වෙලයි තියෙන්නේ. එවන්  තත්වයක් තිබියදීත් සුළු සිදුවීම් අල්ලාගෙන මේ වැඩපිළිවෙළ  කඩාවැටෙන ආකාරයේ වැඩ කරන්න එපා.

මෙම අවස්ථාව සඳහා හිටපු රජ්‍ය අමාත්‍යවරුන් වන මහින්ද යාපා  අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කංචන විජේසේකර, හිටපු  පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, මනෝජ් සිරිසේන  මහත්වරු ඇතුළු පාළාත් පාලන ආයතන නියෝජිතයින් හා මාතර  දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා  ආරක්ෂක අංශ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

 

ජයසිරි පේදුරුආරච්චි – මාතර