පාස්කු ප්‍රහාරයේ නඩුව දිනපතා අහන්න අවධානය
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුව දිනපතා විභාග කර කඩිනමින් අවසන් කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම කෙරෙහි නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් හත්දෙනකු දේවස්ථාන තුනක්, සංචාරක හෝටල් හා ලැගුම්හලක් ඉලක්ක කර කළ ප්‍රහාරයෙන් 269ක් පමණ මියගොස් පන්සීයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
සිද්ධියට සම්බන්ධ තව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන සාමාජිකයන් විස්සකට ආසන්න පිරිසක් ඇතුළු ප්‍රධාන පෙළේ සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ රඳවාගෙන සිටිති. එම සංවිධානයට අයත් බැංකු හා වත්කම් කෝටි ගණනක මුදල්, දේපොළ, ඉඩම් ආදියද මේ වන විට සොයාගෙන ඇත.
සාමාන්‍ය තත්ත්වය මත නඩුව විභාග කළොත් පමණක් වර්ෂ ගණනක් ගත වන බැවින් මහා ව්‍යසනයක් සිදු වූ මෙම අන්තවාදී ප්‍රහාරයේ නඩුව ප්‍රමුඛස්ථානයේ සලකා කඩිනමින් විභාග කර අවසන් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට නීතිපති දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
සුගන්ධි බස්නායක
