News

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීයට අදාළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රත්ගම බුස්ස ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීයට අදාළ තවත් උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්ත උපපොලිස් පරීක්ෂක වරයෙක් වන අතර බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් විමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි මස 18 වන දින අත්අංඩංගුවට ගෙන ඇත..

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන් වි අදට දින 30 ක් ගත වී ඇත.

බූස්ස රත්නඋදාගම ගම්මානයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් වින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු 10ට පමණ මෝටර් රථයකින් හා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් රැගෙන ගොස් තිබුණි.

නිවැසියන් පවසන්නේ පොලිස් නිල ඇඳුමින් සැරසි පිරිසක් මෙලෙස ඔවුන්ව රැගෙන ගොස් ඇත්තේ රසේන් චින්තක, මංජුල අසේලගේ නිවසට පැමිණ සිටි අවස්ථාවකදීය.

පැහැර ගැණුනු පුද්ගලයින්ගේ ඥාතීන්ට පසුගිය 6 වැනිදා ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබී තිබූ අතර එහි සඳහන්ව ඇත්තේ නූපේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඔවුන් පැහැර ගොස් පහර දී ඇති අතර එහිදී ඔවුන් ඝාතනයට ලක්ව ඇති බවය.