News

පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

සීමා නීර්ණය සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර තිබේ.

ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීරණයක් ලෙස එය ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණයට එළැඹුනේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා අධිකරණයෙන් කළ විමසීමට අදාළවයි.

සීමා නිර්ණ කමිටුව අමාත්‍යාවරයාට භාරදුන් වාර්තාවේ සඳහන් සීමා මායිම් ප්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බැවින් පවතින පළාත් සභා සංශෝධන පනත යටතේ මැතිවරණය පැවැත්වීමට ද නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.