News

කවලම් පොල්තෙල් ගැසට්ටුව අවලංගු කෙරෙයි

කවලම් පොල්තෙල් ගැසට්ටුව අවලංගු කෙරෙයි

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට අවසර ලබාදෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ආනයනික තෙල් සඳහා වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම වැළැක්වීම සඳහා වූ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පවසන්නේ වර්තමානයේ ආනයනික තෙල් මිශ්‍ර කිරීම්වලට ලක්වීමට ප්‍රධානම ​හේතුව මෙම ගැසට් නිවේදනය බවයි. ‘‘පසුගිය රජය දෙදාස් දාසයේ ඔක්තෝබර් හත්වැනිදා නිකුත් කරලා තියෙන මේ ගැසට් නිවේදනය මගින් ආනයනය කරනු ලබන තෙල් වර්ග මිශ්‍ර කරලා. එසේ මිශ්‍ර කර ඇත්නම් ලේබල්වල ඒ බව සඳහන් කළ යුතු බව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ ගැසට් නිවේදනය නිසා තමයි විවිධ වර්ගයේ තෙල් වර්ග කලවම් කරපු තෙල් ලංකාවට ආනයනය කරලා තියෙන්නේ.

මේ තත්ත්වය හෙළිදරව් කරගන්න පුළුවන්කම ලැබුණා. භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂාවෙන් ඉන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර නියාමන අංශයත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් විසින් ආනයනය කරනු ලැබූ පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බව නිර්දේශ කළා. ඒ අනුව ඒ භාණ්ඩ තොග ප්‍රතිඅපනයනය කරන්න රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නියම කරලා තියෙනවා. මින්පසු මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම පරණ ගැසට් නිවේදනය අවලංගු කරලා නව ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ආහාරයට ගන්න පොල් තෙල්වලට කිසිම දෙයක් මිශ්‍ර කිරීම තහනම් කෙරෙන ආකාරයට තමයි එම ගැසට් පත්‍රය සකස් කරලා තියෙන්නේ.’’