පොලිසිය අල්ලන සැකකරුවන් මධුෂ්ගේ ගෝලයින්
ඩුබායි පොලිසිය මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමත් සමග ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සියලු දෙනාම පාහේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයන් බවට පත්කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. මෙතෙක් කලක් එම සැකකරුවන් අත්අඩංගුවට නොගත් පොලිසිය ඉහළ නිලධාරීන්ගේ ප්‍රසාදය දිනා ගැනීම සඳහා අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මධුෂ්ගේ ප්‍රධාන ගෝලයින් බවට පත්කරමින් සිටියි.
මේ ආකාරයට පසුගිය මැයි 10 දින වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගත් ශානක මධුෂාන් හෙවත් ඕලුමාරා ඇතුළු පිරිස මධුෂ්ගේ ගෝලයින්ද යන්න සම්බන්ධයෙන් සැක මතුවී ඇති බව බුද්ධි අංශ සැකකරයි. පොලිසිය පවසන ආකාරයට ගෙවුණු සතියේ පමණක් මධුෂ්ගේ ප්‍රධාන ගෝලයින් විස්සකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 10 වැනි දින තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකය අසේල එරංග (හේෂා) සහ නාලක සුසන්ත යන ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේදී ගිනි අවි හා මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය පසුගිය 10 වැනි දින මට්ටක්කුලිය ප්‍රදේශයේදී මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයකු වන අන්දරපතනේ චාමර මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව සූරියවැව දී තවත් සැකකරුවකු පොලිසිය ටී 56 ගිනි අවි හා උණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත.
මධුභාෂණ හේරත්