News

පෞද්ගලික උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සතියක්

මෙවර ප්‍රථම වරට හඳුන්වා දුන් මාර්ග ගත (Online) ක්‍රමයට උසස් පෙළ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා පෞද්ගලික අයැදුම්කරුවන්ට ලබාදී තිබූ කාලය මාර්තු 9 වැනිදා දක්වා දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එම ක්‍රමය යටතේ අයැදුම් කිරීම සඳහා පාසල් අයැදුම්කරුවන්ට ලබාදී තිබූ කාලය අදින් (2 වැනිදා) අවසන් වෙයි.

මාර්ග ගත ක්‍රමයට අයැදුම් කිරීමේදී පාසල් අයැදුම්කරුවන් සම්බන්ධයෙන් ගැටලුවක් උද්ගත වී නොමැති බවත්, පෞද්ගලික අයැදුම්කරුවන්ගේ අපහසුතාවන් පිළිබඳ සලකා ඔවුන්ට තවත් සතියක කාලයක් ලබාදීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණට’ට ඊයේ (1 වැනිදා) පැවැසීය.

මාර්ගගත ක්‍රමයට අයැදුම්පත් යොමු කිරීමේදී යම් අපහසුතාවක් සිදුවූයේ නම් අයැදුම්පත යොමු කර පැය හතළිස් අටක් ඇතුළත එය නිවැරදි කර ගැනීමේ ක්‍රමයක් දෙපාර්තමේන්තුව හඳුන්වාදී ඇත.

යම් අයැදුම්කරුවකුට අතපසුවීමක් සිදුවුවහොත් 1911 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් එම තොරතුරු දැනගත හැකි යැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

 

නිලන්ත මදුරාවල