බමන මතින් වැඩ කළ RMV ලොක්කෝ ගැන විමර්ශන
රාජකාරි වේලාවේ බීමතින් හැසිරුණේ යැයි කියන චෝදනාව මත මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විගණන නිලධාරිවරයා ඇතුළු විගණන නිලධාරීන් පස් දෙනකු සහ අනුරාධපුර දිස්ත්‍රික් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහකාර කොමසාරිස්වරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ විගණන කටයුත්තක නිරත වූ අවස්ථාවේදී ප්‍රධාන විගණන නිලධාරීවරයා ඇතුළු පිරිස් අනුරාධපුර ප්‍රදේශයේ අවන්හලක මෙසේ බීමත්ව සිට ඇතැයි අනාවරණය වී තිබේ.
අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී ඇති බවත් අනුරාධපුර කාර්යාලයේ සහකාර කොමසාරිස් සහ ප්‍රධාන විගණන නිලධාරිවරයා එම තනතුරුවලින් ඉවත් කර සංචිතයට මාරු කර යැවෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ඒ. අල්විස් ‘අරුණ’ට ඊයේ (18 වැනිදා) පැවසීය.
රාජකාරි වේලාවේ බීමතින් හැසිරීම, බාහිර තැරැව්කරුවකු සම්බන්ධ කර ගනිමින් විනය විරෝධී අන්දමින් කටයුතු කිරීම සහ විෂමාචාර චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව විමර්ශන සිදුවන බව හෙතෙම කීවේය.
මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන්ගෙන් ‘අරුණ’ කළ විමසුමකදී සඳහන් කළේ මෙම නිලධාරීන් පිරිස සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්නැයි දෙපාර්තමේන්තුවේ පාලන අංශය භාර කොමසාරිස්වරයාට උපදෙස් දී ඇති බවයි. මෙම සිද්ධියට අදාළව විමර්ශනයක් කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කීය.
එෆ්. අස්ලම්