News

බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් අනතුරකට ලක්වීමෙන් මියගිය බොරැල්ල රථවාහන අංශයේ OIC අද අවසන් ගමන් යයි

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ මහතාගේ දේහය මේ වන විට තැන්පත් කර ඇත්තේ, බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකයි.

පසුගිය පෙබරවාරි මස 24 වැනිදා බම්බලපිටියේදී සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියේ පෙරේදා (09) රාත්‍රියේ ඔහු ජීවිතක්ෂයට පත්විය.

රාජකාරි කටයුත්තක් සඳහා සිය යතුරු පැදියෙන් බම්බලපිටිය දෙසට පැමිණෙමින් සිටි පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා මෙම අනතුරට ලක්වූයේ ආලෝක සංඥා නොතකමින් ධාවනය කළ ඩිපෙන්ඩර් රථයක ගැටිමෙනි.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 14ක් ප්‍රතිකාර ලබමින් සිටි ස්ථානාධිපතිවරයා පෙරේදා (09) රාත්‍රීයේ මියගොස් තිබේ.

මියයන විට 52 වියේ පසුවූ සරත්චන්ද්‍ර මහතා තිදරු පියෙකි.