බ්‍රසීලයේ කොවිඩ් වැඩිපුර හැදෙන්නේ තරුණ තරුණියන්ට
කොරෝනා වයිරසයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වියපත් පුද්ගලයන් බව විශ්වාස කෙරුනත් මේ වන විට බ්‍රසීලයේ ඊට වෙනස් තත්ත්වයක් දැකිය හැකි බැව් වාර්තා වේ.
මේ වන විට එරටින් වාර්තා වන ආසාදිතයන් අතර වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන් පෙරට වඩා වැඩියෙන් දක්නට ලැබෙන බැව් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
විශේෂයෙන් අවුරුදු 30-50 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් අතර මෙවැනි තත්ත්වයක් නිරීක්‍ෂණය වී ඇත්තේ මෙම වසරේ මුල් භාගයේ පටන්ය. එම වයස්වල පසුවන්නන් වැඩි වශයෙන් ආසාදිතයන් බවට පත්වීම මෙන්ම ඔවුන් වඩාත් අසාධ්‍ය තත්ත්වයට පත්වීමද දැකිය හැකි බැව් පැවසේ. එවැනි රෝගීන් අතර සිදුවන මරණද ඉහළ ගොස් ඇතැයි සඳහන්ය.
ඉහත කී වයස්වල පසුවන ආසාදිතයන් අතරින් සියයට 60කට ආසන්න පිරිසක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදුව ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
බ්‍රසීලය තුළ මෙවැනි තත්ත්වයක් මතුව ඇත්තේ වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වතාවටය. මෙයට හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් මේ වන විට විශේෂඥයෝ සොයා බලමින් සිටිති.
මේ වන විට බ්‍රසීලය තුළ පැතිරෙමින් ඇති නව වයිරස ප්‍රභේද මෙයට හේතු වී ඇත්ද යන සැකයක්ද ඔවුන් තුළ පවතී. එසේ නැතහොත් තරුණ වියේ පසුවන්නන් සෞඛ්‍යාරක්‍ෂක පිළිවෙත් ආදිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකිරීම මෙම තත්ත්වයට බලපා ඇත්ද යන්න සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ.
සහන් වික්‍රමගේ