News

ශනිල් නෙත්තිකුමාරගේ දුරකතන ඇමතුම් විස්තර වාර්තා පරික්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිබඳව සාක්ෂි දුන් සාක්ෂිකාරියකගේ සහෝදරයෙකුට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ශනිල් නෙත්තිකුමාර නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන දුරකතන ඇමතුම් විස්තර වාර්තා උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්ති පාර්ශ්වයට අවසර දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහින්ද මහතා අද (05) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්ති පාර්ශවයේ නීතිඥවරු අධිකරනය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන දුරකථන ඇමතුම් විස්තර වාර්තා උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට කරුණු දක්වමින් විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට සහ පරිගණක විශේෂඥයෙකුට අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට අවසර දීම සම්බන්ධයෙන් තමන් එකඟ බව කියා සිටියාය.

ඒ අනුව අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂාකිරීමට විත්ති පාර්ශ්වයට අනුමැතිය ලබාදුන් මහධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නඩුව නැවත සැප්තැම්බර් මස 09 වනදා කැඳවන ලෙසද නියෝග කළේය.

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සාක්ෂියක් ලබා දුන් අනිකා විජේසූරිය නමැත්තියගේ සොහොයුරා වූ විජිත් විජේසූරිය නැමැත්තාට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ශනිල් නෙත්තිකුමාර නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

අධිකරණ වාර්තාකරු