නවතම ප්‍රවෘත්ති

බියංකා නානායක්කාරගේ ආදරණීය පාඨකයන්ට මේ සුභ ආරංචිය කියන්නට ‘අවසරයි…..’

ලේඛකයකුට අවැසිනම් සැඟවී සිටිය හැකිය. නමුත් පාඨක හදවත් ස්පර්ශ කළ ඔහුගේ හෝ ඇයගේ වචන නිසා, එවැන්නෙකුගේ නම ඉතිහාසයෙන් මකා දැමිය නොහැක.

 

බියංකා නානායක්කාර නම් නවකතාකාරිය සම්බන්ධව ගත්තද මේ කතාව මීට වඩා වෙනස් නැතැයි මට සිතෙයි. කාලයක් මේ රටේ අතිශය ජනප්‍රිය නවකතාකාරියක ලෙස ඔබේ හදවත් දිනාගෙන සිටි ඇය, ඉන්පසු නවකතා නොලියා සිටි කාලය තරමක් දිගය. ඊට හේතුව බියංකා නානායක්කාර නම් නවකතාකාරිය කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමයි. නමුත් එය අපරාධමය වරදක් හෝ අධි චෝදනා ගොනු කළ හැකි මටටමේ වරදක් ලෙස කියන්නට හිත නොනැමෙන්නේ බියංකා පැහැරගත් පිරිස අහිංසකයන් පිරිසක් නිසාය. ඈ නොසිටින්නට ඒ පිරිස අද යන එන මං නැති අසරණයන් පිරිසකි. මා මේ ඔබට කියන්නේ බියංකා නවකතා ලියූ පෑන පැහැරගත් ඇගේ පූස් දරුවන් පිරිස ගැනය. හිත හොඳ ගෑනි හැමදාම බඩින් කියන්නා සේ බියංකාගේ හිත හොඳකම නිසා ඇගේ නිවසේ පූස් බල මණ්ඩලයට මාසයකට දෙකකට වරක් අලුතින් පූස් පැටියෙකු දෙන්නෙකු එකතුවීම සාමාන්‍ය දෙයකි. ඒ හැමෝම කවුරුන් හෝ මග දමා ගිය අයය. දැන් එහි ප්‍රතිඵලය ලෙස බියංකාගේ රැකවරණය ලබන පූසන් පිරිස හතළිහක් දක්වා ඉහළ ගොසිනි. ඒ සියල්ලන් රැක බලා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවුණත්, පුවත්පත් රැකියාවේ වැඩ රාජකාරි ද මැද ඈ මාතෘ සෙනෙහසින් යුතුව ඒ දරුවන්ට අම්මා වී සිටින්නීය. බියංකා නානායක්කාර නම් නවකතාකාරිය ඔබට නිතර මුණනොගැසීම පිටුපස ඇති හේතුව එයයි.

 

නමුත්, මීට වසර හයකට පෙර ‘ධරණී’ පුවත්පත මුද්‍රණයට කටයුතු සූදානම් වන මොහොතේ, ඒ නවකතාකාරියට යළි පත්තර පිටු අතර ඉපදෙන්නට අප කළ ආරාධනාව ඒ අභියෝග මැදත් ඈ සෙනෙහසින් භාරගත්තාය. වසර තුනක් ඔබ අඛණ්ඩව ‘ධරණී’ පුවත්පතේ කියවූ ‘අවසරයි’ නවකතාව එහි ප්‍රතිඵලයයි.

 

මාතලේ සිට කැලනි විශ්වවිද්‍යාලයට ආ අංජනා නම් අහිංසක යුවතිය, ඇමැති පුතෙකු බව නොදැන තේනුක නම් වූ සුන්දර තරුණයාට පෙම් කළ අයුරුත්, ඒ වටා ගොඩනැගුණු සිදුවීම් මාලාවකුත් ‘අවසරයි’ නවකතාවේ කතා තේමාව බවට පත්විය. තේනුක, ඒ ඇත්ත ඇගෙන් වසන් කරන්නේ ඔහුද ඒ ඇත්තට අකමැති නිසා සහ තවත් බොහෝ හේතු කාරණා නිසාය. මාතලේ සිට කොළඹ ආ ඒ අහිංසක අංජනාගේ බලාපොරොත්තු ඉටුවන තුරු පාඨක ඔබ බලාසිටි යුගය ඔබට අමතක වන්නට හේතුවක් නැත. සංකර වූ දියණිවරුන් බහුල සමාජයක බියංකාගේ පන්හිඳෙන් මැවූ ‘අංජනා’ යනු මේ යුගයේ ඔබ කවුරුත් දකින්නට අපේක්ෂා කරන ආකාරයේ දියණියකි. සියලු දියණිවරුන්ට ආදර්ශයක් විය හැකි දියණියකි. ඒ නිසා ඔබ අංජනාට ආදරේ කළ තරම අපට මතකය. ඒ තරමටම ඈට පණ දුන් බියංකාගේ වචනවලටද ඔබ ආදරේ කළ තරම අපට මතකය. ඒ නිසා මේ සුබ ආරංචිය ‘ධරණී’ පාඨක ඔබට නොකියා බැරිය.

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න