මඩකලපුවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියයයි
මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඒම මාර්ග බාධකය අසලදී සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද උදෑසන 6.00ට පමණ ඒම නිලධාරීන් දෙදෙනාගේ මෘත ශරීර සොයාගත් බවයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නමැති වයස අවුරුදු 35ක් වන ගාල්ල උඩුගම පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් සහ ගනේෂ් දිනේෂ් නමැති වයස අවුරුදු 28ක් වන කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බවටයි පොලීසිය සදහන් කළේ.
මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝග මත මඩකළපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.