News

මත්ද්‍රව්‍ය නිවාරණයට එක්වූ පොලිස් නිලධාරින් ජනපති අගයයි

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ “මතින් නිදහස් රටක්” සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන “ජනපති ප‍්‍රශංසා” සම්මාන උලෙළ ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දීයි.

2015 ජනවාරි 14 වන දින සිට 2019 ජනවාරි 14 වන දින දක්වා කාලපරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සකී‍්‍රය ලෙස දායක වී ඇති නිලධාරින් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සකී‍්‍රයව දායක වූ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 1034 දෙනෙකු වෙත මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පදක්කම් සහ ප‍්‍රශංසා සහතික පිරිනැමීමට නියමිතයි.

කාණ්ඩ 03 ක් යටතේ මෙම ඇගැයිම් සම්මාන පිරිනැමෙන අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමෙන අතර ඉතිරි පිරිස වෙත ජනපති ප‍්‍රශංසා සහතිකපත් පිළිගැන්වීම සිදු කෙරෙනවා.

“සුරක්ෂිත හෙටක් – මෛතී‍්‍ර පාලනයක්” තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ද ප‍්‍රකාශයට පත් කරමින් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුළ කි‍්‍රයාත්මක කෙරුණා.

එහි ප‍්‍රධාන වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබෙනවා.