News

මතුගම ඩීසල් බලාගාරය පන්නලට ගෙනයෑමේ සූදානමක්

මතුගම යටදොළ ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ඩීසල් බලාගාරය ගලවා ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය සූදානම් වන බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ ‘අරුණ’ කළ විමසීමකදී පැවසීය.

පසුගිය කාලයේ ආන්දෝලනයකට ලක්වූ ආනයනය කළ ඒකක ධාරිතවයෙන් යුත් පනහෙන් විස්සක් මෙගාවොට් ජෙනරේටර් මෙම බලාගාරයේ සවිකර මේ වනවිට වසර එකහමාරක් ගතවී ඇත.

මෙම ජෙනරේටර් විස්ස ගලවා නැවත පන්නල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේ සූදානමක් ඇති බව පවසන හෙතෙම මේ සඳහා යටදොළ ප්‍රදේශවාසීන් දැඩි විරුද්ධත්වයක් ප්‍රකාශ කරන බවද සඳහන් කළේය.

මෙම මෙගාවොට් එකක ධාරිතාවයෙන් යුත් ජෙනරේටර් 50, විෂය භාර ඇමැතිවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු කරන සමයේ රුපියල් බිලියන තුනහමාරක් වැයකර ඉන්දියාවෙන් ගෙන්වූ බවත්, ඒවායේ වගකීම් කාලයවත් ඉකුත්වී නොමැති බවත් ඔහු කීවේය.

මෙම ජෙනරේටර් මිලදී ගැනීමේ සිට බරපතළ දූෂණ සහ වංචාවන් සිදුවූ බව පවසන නගරාධිපතිවරයා, එම ජෙනරේටර් ලංවීමට නුසුදුසු බව නිර්දේශ කළ ලංවිම ඉංජිනේරුවන්ට අවසානයේදී සේවයෙන් ඉවත්වන තැනට කටයුතු සිද්ධ වූ බවද හෙතෙම පැවසීය.

මෙම ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට ඩීසල්වලට අමතරව පැයකට මිලිලීටර් 400 බැගින් ඇන්ජින් ඔයිල් අවශ්‍ය බව අදාළ කාර්මික නිලධාරීන් පවසන බව ඔහු පැවසීය.

මෙම ජෙනරේටර් මතුගම ප්‍රදේශයේ සවිකිරීම සඳහා රුපියල් කෝටි ගණනක් වැය කර ඇති අතර, ඒවා නැවත පන්නල සවි කිරීමට සූදානම් වන්නේ කුමන පදනමකින් දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

මෙම දූෂිත ගනුදෙනු සම්බන්ධ‍යෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදුවී නොමැති බව පෙන්වාදෙන ඔහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ නම් වගිකව යුතු නිලධාරීන්ගේ රැකියා පවා අවධානමට ලක්වන හෙයින් උප්පරවැට්ටියක් ලෙස මෙම බලාගාර ගලවා වෙනත් ස්ථානයක සවි කිරීමට තීරණය කර ඇතැයිද හෙතෙම චෝදනා කළේය.

මෙම ජෙනරේටර් කෙටි කලකින් ගලවා තවත් තැනක සවි කිරීමට යන්නේ කාගේ උවමනාවටද යන්න සොයා බැලීමට වගකිව යුතු අයගේ අවධානය යොමුවිය යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 

ශිරන්තනි මානවඩු