මතුරා කියන මේ කවි පද අසා බැස යන්නට යන්න ඇත් රජුනේ අපව පිස
“සත්තු ඉතා කදිම මිතුරෝය. ඔවුන් කිසිදු ප්‍රශ්නයක් අසන්නේ නැත. කිසිදු විවේචනයක් කරන්නේ ද නැත.”
එසේ කීවේ ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක සහ මාධ්‍යවේදිනියක වන ජෝර්ජ් එලියට්ය. එය කෙසේ වුව ද සතුන් ඇසුරේ සීමාව කුමක්ද යන්න අප හොඳින්ම මතක තබා ගත යුතුය. එවිට ගැටලුවක් නොවන බව කීවේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායකයි.
“රෞද්‍ර සත්තු ඉන්නවා. ඒගොල්ලො එක්ක ගැවසෙන්න ඕනෙ නෑ. ඈත ඉඳලම අපට පේනවා එයා අසහනයෙන් ඉන්නෙ, මිනිස්සුන්ට කැමති නෑ කියලා. ඒකට අපි ගරු කරනවනං කිසිම ගැටලුවක් නෑ.”
අරුන් ඩයස් බණ්ඩාරනායක මේ දේවල් ඉගෙනගත්තේ අත්දැකීමෙනි. සතුන් පිළිබඳ වැඩසටහන් කිරීමේ දී වනජීවී නිලධාරීන්ගෙන් සේම, සතුන්ගෙන් ද ඔහු ලබා ගත් දැනුම ඒවාට සහය විය. වරක් ඔහුගේ පිටපතක් අලි නැන්දෙකු පරීක්ෂා කළ ආකාරය මීට පෙර අලි කතා හි ලියූ බව ඔබගේ මතකයේ තිබෙනවා ඇත. ඒ වෙලාවේදී ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය බණ්ඩාරනායකට දැනුම් දුන්නේ වනජීවී නිලධාරියෙකි. ඒ අනුව එකවර වනජීවී සහ නිලධාරී දෙපාර්ශ්වයෙන්ම දැනුම ලබා ගැනීමේ අවස්ථා ඔහුට හිමිවිය. කැලේ යාමේ දී එවැනි අවස්ථා රැසක් ඔහුට හිමි වී තිබේ.
වනජීවී නිලධාරියකු වරක් ඔහුට පවසා ඇත්තේ අලි ඇතුන් සිය දෑස් පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් බවයි. සැබැවින්ම අලි ඇත්තු ආරක්ෂාව, සන්නිවේදනය සහ පරිසරය ගැන අවබෝධය ලබා ගැනීමට සිය ඇස් ගැන සැලකිලිමත් වෙති; ඒවා ක්‍රියාශීලීව භාවිත කරති. ඔවුන්ට ඇසි පිය තුනක් ඇති අතර, ඝනකම් සහ දිගු ඇහි පිහාටු ඇත. ඔවුන් සිය ඇස් පිරිසිදු කරගන්නේ හොඬවැල ආධාරයෙනි.
අලින්ගේ ඇස් ගැන පැරැන්නෝ ද විශේෂයෙන් සැලකූහ. අලි දමනයට මන්ත්‍ර භාවිත කිරීම ගැන ද අප අසා ඇත. අත්දැකීම් සහිත වැඩිහිටියන් පවසන්නේ වල් අලියකු ඉදිරිපිට සිට මතුරන්නේනම් අලියාගේ ඇස් දෙස ඍජුව බලා එය කළ යුතු බවයි.
‘රෑ කළුවරේ ගිනි පුපුරක් ලෙසින් ඇස
බලා සිටින විට එන්නේ අපේ දෙස
මතුරා කියන මේ කවි පද අසා බැස
යන්නට යන්න ඇත් රජුනේ අපව පිස’
මෙය එවැනි අවස්ථා සිහි ගන්වන පැරණි කවියකි. අරුන් ඩයස් බණ්ඩාරනායකට වනජීවී නිලධාරියා අලි මන්ත්‍ර හෝ පැරණි කවි කියා දුන්නේ නැතිවාට අලියා සිය ඇස් ගැන දක්වන සැලකිල්ල ගැන කීවේය. ඇසට අනතුරක් වනවාට අලින් කැමති නැති බව ඔහු පවසා ඇත. මේ කියූ කාරණය ප්‍රායෝගිකව අත්දැකීමේ අවස්ථාවක් අරුන් ඩයස්ට ලැබිණ. ඔවුන් සිටියේ සිය රථයේ නැගී ඉදිරියට ගමන් කරමිනි. අලියෙකු ද පාර මාරුවීමට තම මාර්ගයේ එමින් සිටියේය. එය වාහනයේ සිටි කණ්ඩායම දුටුවේ නැත.
හදිසි අවස්ථාවකට මුහුණ දුන් අලියා වහා නැවතුණේය. අරුන් ඩයස් ප්රමුඛ කණ්ඩායම ගමන්ගත් වාහනය ද එකවර නැවැත්තුවේ අනපේක්ෂිත හදිසි හමුවීම නිසාය. කෙසේ වෙතත් අලියා ඒ වෙද්දීත් පාරට පිවිස සිටියේ නැත. වාහනයේ රියැදුරුට ඒ වෙලාවේ තීරණය කිරීමට තිබුණේ වාහනය පසුපසට ගන්නවාද, ක්‍රියා විරහිත කර බලා සිටිනවාද යන්නයි. කෙසේ වුවද ඒ වෙද්දී වාහනය නවතා අවසන්ය. අලියා ඒ අසලට ආවේ වාහනේ සිටි අයට යම් බියක් ගෙනෙමිනි. වාහනයට ගසම්දෝ නොගසම්දෝ යන අදහසින් අලියා බලා සිටින බව පෙනිණ. මෙවැනි අවස්ථාවල වාහනය තල්ලු කරන සද්දන්තයෝ ද සිටිති. ඔවුන්ගේ වැයික්කිය නිසා තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට ඇත. ඒ තීරණය කෙසේ වේදැයි මේ නඩය ද බලා සිටියේය.
එන පොට හොඳ නැතැයි සිතුණු නිසාදෝ වනජීවී නිලධාරියා තමා පැලඳ සිටි තොප්පිය ගැලෙව්වේය. එය අලියා දෙසට විසි කරනවා මෙන් ඔහු සංඥා කළේය. අලියා වහා සිය ඇසි පිය ගසන අයුරු අරුන් ඩයස් බණ්ඩාරනායක දුටුවේය. තොප්පිය තමා වෙත විසි කරනු ඇතැයි යන සැකය අලියාට තිබිණ. ඔහු බිය වන්නට ඇත්තේ එය තමාගේ ඇසේ වදීයැයි කියාය. දෙගොල්ලෝම ඒ වෙද්දී සිටියේ එකිනෙකා ගැන සැකයෙනි.
රෂ්නිකා ලියනගේ
තොරතුරු :- ප්‍රවීණ මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක
