News

මධුෂ්ගෙ රහස් හෙළි කරගන්න ඩුබායිහි ඇති දුරකතනය ගෙන ඒමේ සැලසුමක්

මාකඳුරේ මධුෂ් ඩුබායිහි සිටියදී මෙරට දේශපාලනඥයන් හා ප්‍රභූවරුන් සමග පැවැත් වූ සබඳතා හා මත්කුඩු ජාලය මෙහෙය වූ අයුරු සොයා බැලීමට අබුඩාබි පොලිස් භාරයේ ඇති මධුෂ්ගේ ජංගම දුරකථනය මෙරටට ලබා ගැනීමට තීරණය කර ඇත.

මේ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කිරීමට යයි. මීට පෙර අවස්ථා ගණනාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩුබායි රාජ්‍යයෙන් මධුෂ්ගේ ජංගම දුරකථනය ඉල්ලා සිටියද එය ලබා දීමට එකඟතාව පළ නොවීය.මාකඳුරේ මධුෂ් 2019 වර්ෂයේ පෙබරවාරි 5 වැනිදා අබුඩාබි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ මධුෂ්ගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන තිබිණ. 2019 මැයි 5 වැනිදා ඔහු මෙරටට භාරදීමට ඩුබායි රාජ්‍යය කටයුතු කර තිබුණද ජංගම දුරකථනය භාර දී නොතිබිණි.

මෙලෙස දුරකථනය ගෙන්වා ගැනීමට තීරණය කර ඇත්තේ නව රජය යටතේ අලුතින් විමර්ශන ඇරඹීමත් සමගය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා