News

මධුෂ් ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව තහවුරු වෙයි

ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී ඇති බව සඳහන් වෙයි.

සැකකරුවන්ගේ රුධිර සාම්පල මත කරන ලද පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇතැයි ඩුබායි ආරක්ෂක අංශ දැනුම් දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තවදුරටත් සාකච්ඡා සිදු කරමින් ඇති බව ද ඔහු පැවසු අතර මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට මෙරට නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත යැවීමට ද සැලසුම් කර ඇත.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී පසුගිය 05 වන දා අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා බලධාරීන් ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ය.