News

මධුෂ් ඇතුළු සැකකරුවන්ගේ රුධිර සාම්පල පරික්ෂාවට

ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන්ගේ රුධිර සාම්පල ඩුබායි ආරක්ෂක අංශ විසින් ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ රුධිර සාම්පල ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළ අතර සැකකරුවන් රඳවා තබා ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව ඩුබායි ආරක්ෂක අංශ දැනුම්දී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 25 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී පෙරේදා (05) අත්අඩංගුවට ගැනුණේ ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා බලධාරීන් ඒකාබද්ධව කළ මෙහෙයුමකදීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු සිටි අතර කන්චිපානි ඉම්රාන්, අංගොඩ චූටි ඇතුළු ප්‍රබල අපරාධකරුවන් කිහිපදෙනෙකු ද වන බව පොලීසිය තහවුරු කර ඇත.