News

මධුෂ් ලංකාවට ගේන්න බැහැ

ඩුබායි පොලිසිය එරට හෝටලයකදී අත්අඩංගුවට ගත් පාතාල නායකයකු ලෙස සැලකෙන මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස පසුගිය 04 වැනි දින අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ කිසිදු මැදිහත්වීමකින් තොරව නිසා ඔහු මෙරටට ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවේ රතු වරෙන්තුකරුවකු බැවින් මෙරටට භාරදෙන ලෙසට එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය එරට පිහිටි ශ්‍රී ලංකා තානාපතිවරයාව දැනුවත් කිරීමෙන් පසුව මෙම ඉල්ලීම සිදුකර ඇත. 2006 ජුනි 11 වැනි දින එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි ඩැනී හිත්තැටිය ඝාතනය කිරීමේ සිද්ධියට මධුෂ්ට රතු වරෙන්තු නිකුත් කර ඇති බවත්, ශ්‍ර්‍රී ලංකා රජයට ඔහු භාර දෙන ලෙසත් ඉල්ලා තිබේ.

එහෙත් ඊට සාර්ථක පිළිතුරක් එරට බලධාරින්ගෙන් ලැබී නොමැති අතර එරට නීතිය අනුව එල්ල වී ඇති මත්ද්‍රව්‍ය චෝදනාවලින් නිදහස් වුවහොත් පමණක් ශ්‍රී ලංකාවට භාර දීමට සැලසුම්කර තිබේ.

මධුෂ් මෙරටට භාර දීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමත් සමග දේශපාලනඥයන්, ඉහළ පොලිස් නිලධාරින්, බන්ධනාගාර නිලධාරින් රැසක් කලබල වී ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ එම සිදුවීමත් සමග උසස් පොලිස් නිලධාරින් භාවිත කළ බැංකු ගිණුම් හා දුරකථන සිම්පත් අත්හිටුවීමටද කටයුතු කර ඇති බව වාර්තා වේ. මීට හේතු වී ඇත්තේ මධුෂ් මෙරටට භාරදුනහොත් මෙතෙක් ඔහු සමග ගනුදෙනු කළ පුද්ගලයන් හා සම්බන්ධකම් පැවැත් වූ පුද්ගලයන් තහවුරු කිරීමට අයත් සාක්ෂි විනාශ කිරීමක් ලෙසය.

මීට අමතරව මධුෂ්ගේ මෙරට පාතාලයේ සාමාජිකයන්ද සිය ක්‍රියාකාරකම් නතර කර සැඟවී ඇති අතර බොහෝමයක් දෙනා දුර ප්‍රදේශවලට ගොස් සැඟවී ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

මෙලෙස මධුෂ් සමග සිට අත්අඩංගුවට පත්ව සිටින 24 දෙනා අතර කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ ඥාතියෙක්, සේවකයෙක්, කළුතර බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙක්, ප්‍රසිද්ධ ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා, රංගන ශිල්පිී රයන් වැන්රෝයන් ඇතුළු පිරිසකි.

කෙසේ වෙතත් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් පිරිසෙන් නව දෙනකු නිදහස් කර ඇති බව වාර්තා වේ. මේ අතර මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනෙකුගේ නිවෙස් පොලිසිය මගින් සිකුරාදා (08) පරීක්ෂාවට ලක් කළ අතර ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින අවිශ්ක කවිශාන් නොහොත් ‘‘ජංගා’’ නමැත්තාගේ ගන්දර පිහිටි නිවෙස ගන්දර පොලිසිය විසින් සෝදිසි කිරිමේදී එහි තිබී ටී 56 උණ්ඩ 26ක්, යුද හමුදා නිලඇඳුම් 18ක් සහ හිස් උණ්ඩ කොපු 30ක් සොයා ගෙන තිබෙි ‘‘ජංගා’’ නමැත්තාගේ පියාගේ සොහොයුරෙක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කඹුරුපිටිය පොලිසිය මාකඳුරේ මදුෂ්ගේ පාසල් මිතුරන් වන ලංකා සජිත් පෙරේරා, චරිත් කොඩිකාර යන දෙදෙනාගේ නිවෙස් ද පරීක්ෂාවට ලක් කර ඇත. බුබායිහිදී අත්අඩංගුවට ගැනුණු ෂෙල්ටන් ද සිල්වා නොහොත් කුමාර නමැත්තාගේ සහ බන්ධනාගාර හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වන ලලිත් කුරේ නමැත්තාගේ නිවෙස් ද පොලිසිය මගින් පරීක්ෂාවට ලක් කර තිබේ.

වැලිගම මිරිස්ස, ප‍්‍රදේශයේ පිහිටි සන්ෂයින් සහ සීක‍්‍රට් බීච් නමැති හෝටල් පරිශ‍්‍රයන් හදිසි පරීක්ෂාවට ලක් කර ඇත්තේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙහෙය වූ විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් විසිනි එම හෝටල් 02 ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සන්ෂයින් සුද්දාගේ සහ ඔහුගේ සොහොයුරෙකුට අයත් අතර එම හෝටල් 02කේ ශබ්ද විකාශන බලපත‍්‍ර අවලංගු කිරීමට ද පොලිසිය කටයුතු කර ඇත

අදාළ පරීක්ෂාවේදී සන්ෂයින් සුද්දාට අයත් හෝටලයේ තිබී ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටින රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ මෝටර් රථය ද සොයා ගැනීමට හැකිවී තිබේ. එහි තිබී කේරළ ගංජා ග‍්‍රෑම් 05ක් ද පොලිසිය සොයාගෙන ඇත මාකඳුරේ මධුෂ්ගේ සාදයට සහභාගී වීම සඳහා රංගන ශිල්පී රයන් වැන්රෝයන්, ගායන ශිල්පී අමල් පෙරේරා කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් ඇත්තේ සන්ෂයින් සුද්දාට අයත් එම හෝටලයේ සිට බවට ද මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබේ.

චමින්ද සේනාරත්න