News

මධූෂ් ඇතුළු 31 දෙනා ලබන 27 වැනිදා ප්‍රථම වරට ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා ලබන 27 වැනිදා ප්‍රථම වරට එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට ඩුබායි පොලීසිය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය 05 වැනිදා සිට මේ දක්වා ඩුබායි පොලීසියේ රැඳවුම් භාරයේ සිටින මාකඳුරේ මධුෂ්,ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළුපිරිස සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව මෙම තීරණයට එළඹ ඇති අතර අධිකරණයට ඉදිරිපත් කළ පසු එම කණ්ඩායමෙන් 15 දෙනෙකුට පමණ ඇප ලබාදීම, ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම වැනි සහනයක් අත්වනු ඇතැයි වාර්තා වෙයි.

අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ඩුබායි රාජ්‍යයේදී පෙර වැරදි සිදුකර නොතිබීම,පළමු වතාවට මත්ද්‍රව්‍ය සම්බන්ධ අවස්ථාවකදී අත්අඩංගුවට පත්වීම,සාදයේ ගායකයන් ලෙස පැමිණ සිටීම වැනි කරුණු නීතිඥයන් විසින් පෙන්වා දී තිබෙන බැවින් ඔවුන් දෙදෙනා සහනයක් ලැබීමට නියමිත කණ්ඩායමට ඇතුළත්ව සිටින බවද වාර්තා වේ.

ඩුබාහි හිදී අත්අඩංගුව ගත් 31 දෙනා සම්බන්ධව ඩුබායි නීතියට අනුව එරට පොලීසිය විසින් පරීක්ෂණ සිදුකර තිබෙන අතර ඔවුන් මේ දක්වා අධිකරණයක් වෙත ඉදිරිපත් කර නොමැත.