News

මන්නාරම සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුර 300 ක අස්ථි කොටස් සොයාගනියි – කාබන් පරීක්ෂණ ජනවාරි 23 වැනිදා

මන්නාරම සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 300 ක අස්ථි කොටස් අද(16) වන විට ‍මතුකර ගැනීමට හැකිවි ඇති බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ මහතා පැවසූවේ අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 294 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 23 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බවයි.

සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් හයක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ‍රැගෙනයාමට නියමිත බවද රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්,පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා,අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනීම සිදුකළ බවයි.

රාජපක්ෂ මහතා පැවසූවේ සියළු පාර්ශව වෙනුවෙන් විනිවිධභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගත් අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියළු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගන්නා බවද රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා සදහන් කරනු ලැබුවේ මේ වන විට සමූහ මිනිවළ සම්බන්ධයෙන් දින 130 ක කාලයක් පරීක්ෂණ පවත්වා ඇති අතර, සමූහ මිනිවළ තුළින් මිනිස් අස්ථි කොටස් 300 කට අදාළ අස්ථි හදුනාගෙන ඇති බවයි. මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කළේය.

සාම්ප්‍රදායික සුසානභූමියක අස්ථි තැන්පත් කොට තිබෙන ආකාරයෙන් ඔබ්බට වන ආකාරයට ඇතැම් අස්ථි හමුවි ඇති බවද හෙතෙම පැවසුවේය.