News

මන්නාරම සමූහ මිනීවළෙන් එකට ගැට ගසන ලද අස්ථි කොටස් දෙකක් හමුවේ

මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවැති ස්ථානයෙන් හමු වූ සමූහ මිනීවළෙන් එකට බැඳ තිබෙන ආකාරයේ මිනිස් අස්ථි කොටස් දෙකක් ඉකුත් 6 වැනිදා (බ්‍රහස්පතින්දා) හමු වූ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ පවසයි.

ඔහු පැවසුවේ එලෙස හමුවූ අස්ථි කොටස මන්නාරම මහෙස්ත්‍රාත්වරයාගේ අවධානය පිණිස යොමු කොට ඇති අතර අදාළ අස්ථි කොටස් දෙක කිසියම් ලෝහයකින් හෝ වෙනත් යමකින් ගැටගසා ඇතිද? එලෙස නොවන්නේ නම් අදාළ අස්ථි කොටස්වල වෙනත් ආභරණයක්ද පැලඳී ඇත්ද? නැතිනම් සිමෙන්ති බැඳීමක්ද? යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 266කට අදාළ අස්ථි 6 වැනිදා වන විට ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකි වී ඇති අතර, ඉන් සිරුරු 260කට අදාළ කොටස් කැණීම් මගින් ඉවත් කර ගැනීමට හැකිව ඇත.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ සිරුරු 260කට අදාළ අස්ථි තමන්ගේ භාරයේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවයි. එම අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් ෆ්ලෝරිඩාවේ කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවද පවසයි. දින 112ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇත.

පරීක්ෂණ කටයුතුවලට එක් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේවගෙන් විමසීමේදී පැවසුවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවැති ස්ථානයෙන් හමු වූ මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නිර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයකින් හමු වූ අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

වවුනියාව – මාධව කුලසූරිය