නවතම ප්‍රවෘත්ති

මම, මගේ කුඩා ලෝකය ස්වර්ගය බවට පත්කරගන්නට තීරණය කළෙමි

ලෝකය බොහෝ සෙයින් ඝෝෂාකාරීය. සීමාව ඉක්මවා ගිය සංගීත නාදවලින් නැගෙන ඒ හඬත්, ලෝකයාගේ අවධානය දිනා ගන්නා විචිත්‍ර රංගනවලින් නැගෙන ඒ වේග රිද්මයත් මට දැන් ප්‍රිය නැත. නමුත් ඒ වේග රිද්මය පිරුණු ලෝකයේ සිටින කෙනෙකුට, මගේ ජීවිතය අතිශයින්ම ඒකාකාරී සහ නීරස එකක් මෙන් පෙනී යෑම පුදුමයක් නොවේ.

 

කැබැල්ලෑ පැටවෙකු සිය කටුව තුළට රිංගන්නේ යම් සේ ද, මමද ඒ අයුරින්ම දවසේ වැඩ අවසන් වූ සැනින් මගේ කුඩා ලෝකයට රිංගා ගනිමි. පිටස්තරයෙකුට එය හුදකලාව වූ පාළු ලෝකයක් මෙන් පෙනීම අරුමයක් නොවේ. එහෙත් ‘ස්වයං-විමර්ශනය නැති ජීවිතය ජීවත් වීමට නුසුදුසුය’ යනුවෙන් සොක්‍රටීස් පැවසූ පරිද්දෙන් මමද, මගේ ආත්මය සමඟ සංවාදයේ යෙදෙන්නට ඒ පාළු නිහඬ බව උපකාර කර ගනිමි.

 

බොහෝ අයගේ හැන්දෑ සාදවල පවතින උමතු ප්‍රීතියත්, ඇස් කඩාගෙන යන නියෝන් එළිවලින් පිරුණු රාත්‍රී සමාජශාලා සංස්කෘතියත් මට නුහුරුය. ඒ වෙනුවට මගේ දවසට සමුදෙන්නට උණුසුම් කෝපි කෝප්පයක් පමණක් හොඳටම ප්‍රමාණවත්ය. රාත්‍රිය පිළිගන්නට සූදානමින් බැස යන හිරුට සමුදෙන එවැනි බොහෝ හැන්දෑ වරුවල, මට ජෝන් මිල්ටන් සිය Paradise Lost නම් ග්‍රන්ථයේ ලියා ඇති කියමනක් සිහිපත් වෙයි. එනම් ‘මනස තමන්ගේ වාසස්ථානය වන අතර, ස්වර්ගය නරකාදියක් හෝ නරකාදිය ස්වර්ගයක් කර ගැනීමේ හැකියාව ඇත්තේ මනසටයි’ යන කියමනයි. ඒ නිසාම මම මගේ කුඩා ලෝකය ස්වර්ගය බවට පත්කරගන්නට තීරණය කළෙමි. එහි කිසිදු ඝෝෂාවක් නැත. වේග රිද්මය ද නැත. බෂෝගේ හයිකු කවියක් මෙන් එහි ඇත්තේ සරල සුන්දරත්වයම පමණි.

 

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න