මවගේ මුරණ්ඩු ප්‍රතිපත්තිය නිසා 2 වැනි ශ්‍රේණියේ සිටිය යුතු දරුවා තවම ගෙදර
දරුවකු ඇතුළත් කිරීමට අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් දෙකක් ලබා දුන්නද ර/හිග්ගස්වත්ත කනිෂ්ඨ විද්‍යාලයටම දරුවා ඇතුළත් කළයුතු බව පවසමින් මවක් සිය දරුවා නිවසේ රඳවාගෙන සිටින බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී (28) හෙළිවිය.
මෙම දරුවා මේ වන විට දෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබිය යුතු සිසුවෙකි. මේ සම්බන්ධයෙන් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ හිරෝෂි ගුණවර්ධන කරුණු පැහැදිලි කළේ මෙලෙසිනි.
“මෙම මව පළමුවෙන් හිග්ගස්වත්ත කනිෂ්ඨ විද්‍යාලයේ 4 වැනි වසරට දරුවකු ඇතුළත් කර දෙන ලෙස ඉල්ලීමක් කළා. පුරප්පාඩුවක් තිබූ නිසා එම දරුවා ඇතුළුකර ගැනීමට හැකිවුණා. පස්සේ එම විදුහලේම පළමු වසරට අනෙක් දරුවා ඇතුළු කරන ලෙස ඉල්ලුවා.
දරුවන් ඇතුළත්කර ගැනීමේදී ක්‍රියාත්මක කරන චක්‍රලේඛවලට අනුව මෙම දරුවා එම පාසලට ගැනීමට බෑ. සම්මුඛ පරීක්ෂණයෙනුත් අසමත්. ඇය විසින් මේ ගැන ජනාධිපතිවරයාටත් ලියා තිබුණා. ජනාධිපති කාර්යාලයෙන් ලිපියක් ආවේ චක්‍රලේඛ අනුව කටයුතු කරන ලෙස පවසමින්.
චක්‍රලේඛ අනුව පාසලට දරුවන් තෝරාගෙන අවසන් වූ පසුව දරුවන් 4ක් ඉතිරි වුණා. පුරප්පාඩු නැති නිසා වලඳුර හා වතුයාය විදුහල්වලට දරුවා ඇතුළත් කරන ලෙස දිගින් දිගටම කීවත් මේ වනතුරු ඇතුළත්කර නෑ. මෙහිදී දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම විසින් ළමාරක්ෂක නිලධාරිණී තනූජා හසන්තිගෙන් කරුණු විමසීමේදී ඇය පැවසුවේ මෙම දරුවාගේ ගැටලුව වෙනුවෙන් නිලධාරී විසින් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් චක්‍රලේඛ ගැටලු හේතුවෙන් දරුවා හිග්ගස්වත්ත කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කළ නොහැකි බවත්ය.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් දෙකක් ලබාදී තිබුණත් තවම පාසලට ඇතුළුකර නැති බවද මෙම පවුල මනෝ සමාජීය ගැටලු තිබෙන පවුලක් බවද ඇය කීවාය. මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළේ අපට තිබෙන්නේ දරුවාට පාසලක් ලබාදීම බවත් එය ඉටුකර තිබෙන බැවින් මෙම කරුණු පැහැදිලිකර අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඇයව දැනුවත් කරවන ලෙසයි.
ශ්‍රියන්ති බණ්ඩාර
