News

මහජන සේවා ආයතන අනාගත පරපුරට දායාද කිරීම තම අරමුණ බව අර්ජුන කියයි

ලාභ ලැබීමට වඩා මගී ජනතාවට සේවාවක් සැපයීම ප්‍රවාහන අමාත්‍යාංශයේ වගකීම විය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා අවධාරණය කළේ කිසිම අවස්ථාවක මහජන සේවා ආයතන පෞද්ගලීකරණය කිරීම තම ප්‍රතිපත්තිය නොවන බවයි. මහජන සේවා ආයතන අනාගත පරපුරට දායාද කිරීම තම අරමුණ බවද එතුමා කියා සිටියේය. මේ බව එතුමා කියා සිටියේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යධුරයේ අද (21) වැඩ භාර ගනිමිනි.

“පසුගිය කාලේ රටතුළ තිබුණු දේශපාලන අස්ථාවරබව දැන් අවසන් වී තිබෙනවා. දැන් අපිට තියෙන්නේ රට ඉදිරියට ගෙන යාම. ඒ සඳහා ඉදිරි මාස කිහිපයේදී දිවා රෑ නොබලා වැඩ කිරීමට අපිට සිදුවේවි. ඒ සඳහා මේ අමාත්‍යාංශයේත් අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල නිලධාරීනුත් සූදානම් විය යුතුයි. ඇත්තටම ප්‍රවාහන අංශය කියන්නේ රටේ ලාභ ලබන අංශයක් නෙමෙයි. සේවා සපයන අංශයක්. ඒ නිසා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තියෙන සියලුම ආයතන සේවා සපයන රාජ්‍ය ආයතන ලෙස දියුණු කරමින් අනාගත පරපුරට දායාද කිරීම මගේ අරමුණ වන බවට අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

වැඩභාර ගැනීමෙන් පසුව අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා අමාත්‍යාංශයේ නිලධාරීන් හමු වෙමින් වැඩිදුරටත් කියා සිටියේ අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල දූෂණය සහ වංචාව නැති කිරීමට දැඩි පියවර ගන්නා බවයි. දැනට යම් ව්‍යපෘතියක් නතර වී ඇත්නම් එම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. විශේෂයෙන්ම සඳහන් කළේ ඉදිරියේ එළැඹෙන උත්සව සමයේදී මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් බාධාවකින් තොරව සැපයීමට පියවර ගන්නා ලෙසයි..