මහත්තුරුන්ව කුස්සියට ගෙන්නගන්න වැඩේ තියෙන්නෙත් නෝනලගෙ අතේ
හැමදාම මං ලියන්නේ උයන පිහන වැඩවලින් සතුට හොයාගන්න විදිය. හැබැයි මේ හැමතැනදිම කාන්තාවන් ගැනම වැඩිපුර කතාවෙන නිසා ඉවීම කාන්තාවන්ට විතරක් උරුම වුණ දෙයක් කියලා ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන්. ගෑනු විතරද උයන්න ඕන? පිරිමියෙක්ට උයන්න බැරිද? ගෙදරදොරේ වැඩ කරන්න බැරිද? කියලා හිතන ගැහැනු අයත් ඇති.
ඇත්තම කතාව කිව්වොත් අපි අපේ ගෙදර වැඩ ටික කරන්නේ කාටවත් තියෙන බයකට නෙවෙයිනේ. ගෙවල් පිරිසිදුව තියාගන්නෙ ඒකට තියෙන ආසාව නිසා සහ දරුවන්ට මහත්තයාට සතුටින් උයලා දෙන්නෙත් ඒකෙන් දැනෙන තෘප්තිය නිසාමයි. ඒ වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ අපි ගෙදර වැඩ කිරීමෙන් ලබන තෘප්තිය වගේම ඒකෙ අමාරු පැත්තත් මොනවගේද කියලා ගෙදර ඉන්න පිරිමියාට දැනෙන්න දෙන්න. එතකොට අපේ බලකිරීමක් නැතුවම එයාලා ඒ වැඩවලට හවුල් වෙනවා.
මං ගැන පොඩි දෙයක් කියන්නද? මං මගේ ගෙදර උයන පිහන එකේ ඉඳන් ගෙවල් අස්කරන, රෙදි වනන හැමදේම කරන්නේ සතුටින්. මේ හැමදේකටම මගේ මහත්තයා දහමුත් උදව් වෙනවා.
හැබැයි මං ඒ එයාට මැසිවිලි නගලා, බැනලා එහෙම නැත්නම් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරලා නෙවෙයි. එයාගේ කැමැත්තෙන් තමයි එයා මට උදව් කරන්නේ.
මං හොඳට බලලා තියෙනවා, මං කේන්තියෙන් දේවල් කරද්දී මගේ උදව්වට දහම් තියා දරුවෙක්වත් ආවේ නෑ. ඒත් මං සතුටෙන් වැඩ කරද්දී මගේ උදව්වට දහම්ගේ ඉඳන් ගෙදර ඉන්න පුංචි පුතාත් උදව්වට එනවා. පස්සේ මං ඒ සතුටට ඇබ්බැහි වුණා. මට මගේ මහත්තයාගේ උදව් හැමදේකදීම ලැබෙනවා. මාස ගාණකට උඩදී ඉඳන් සතිඅන්තේ දවස් දෙක උදේ කෑම හදන්නේ එයා. ඒ මට විවේකයක් දෙන්න ඕන නිසා සහ දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ එක්ක මට වැඩ කන්දරාවක් කරන්න තියෙන බව එයා හොඳට තෙරුම් අරන් ඉන්න නිසා.
ගෙදර දරුවන් බලාගෙන ඒ වැඩ නොපිරිහෙලා ඉටු කරන බිරිඳකගේ වගේම රැකියාවට යන බිරිඳකගේත් පීඩනය පුංචිම හරි විදියකින් අඩු කරන්න පුළුවන් ගෙදර වැඩවලට පුංචිම හරි සහයෝගයක් සැමියාගෙන් ලැබෙද්දී. ගැහැනියකට ඒක සහයෝගයට වඩා දැනෙන්නෙ ආදරේ විදියට. ඒක මං ලබාගත්ත විදියයි උඩින් මං සඳහන් කරේ.
ගොඩාක් පිරිමි හිතලා මතලා හොයලා බලලා ගෙදර වැඩ කරන්නේ නෑ. එහෙම කරන අයත් නැතුවම නෙවෙයි. ඒත් ආදරණීය බිරින්දෑවරුන් විදියට එයාලව ආදරෙන් ඒ වැඩට සම්බන්ධ කරගන්න අපි දැනගන්න ඕනේ. හැබැයි ඒ මං අර මුලින් කිව්වා වගේ සතුටෙන් මිසක් තරහෙන් පුපුර පුපුර නම් නෙවෙයි.
මං ඕන තරම් උයන්න ආස පිරිමි දැකලා තියනවා. ඉවීම රැකියාවක් කරගත්තු පිරිමිත් ඉන්නවා. ඉවීම කලාවක් කරගෙන මේ ලෝකේ දිනපු පිරිමිත් ඕනෑතරම් ඉන්නවා. අපේ රටෙත් ඉන්නවා ඉවීම කලාවක් කරගෙන අනිත් අයටත් ඒ දැනුම බෙදාදෙන නමගිය පිරිමි සූපවේදියෝ.
හැබැයි පරිප්පු හොද්දක්වත් හදාගන්න දන්නේ නැතුව ‘උයන එක මහ වැඩක්ද කියලා’ තමන්ට ආදරෙන් උයලා දෙන ගැහැනියට ඉවීම එපා කරවන පිරිමිත් ඔය අතරෙ නැතුවම නෙවෙයි. ඒවාට හිතින් වැටෙන එකවත්, දුක්වෙන එකවත් නෙවෙයි කරන්න ඕනේ. උයන එක නම් මහ වැඩක් නෙවෙයි, ඒත් රසට උයන එක, ඒ ඉවිල්ලට ආදරේ එකතු කරන එක ලොකු වැඩක් කියලා එහෙම අයට තේරුම් කරලා දෙන්න වෙන්නේ ගෑනු වුණ අපිටමයි. ඒ වැඩේ තියෙන්නේ අපේ අතේ.
මම රස්සාවකට නොගියත් ගෙදර ඉඳගෙන උදේ ඉඳන් හවස් වෙනකන් කරන වැඩවලට දහම්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මං උදේ ඇහැරෙනකොට ගොඩක් වේලාවට එයත් ඇහැරෙනවා. මට අසනීපයක් හැදුනත් කඩෙන් මොකුත් නොගෙන ගෙදරම මොනාහරි එයා හදනවා.
මෙහෙම දේකුත් තියනවා සමහර ගැහැනු අය ඉන්නවා පිරිමින්ගෙන් පුංචිම වැඩක්වත් කරවා ගන්නේ නෑ. පුතාට කුස්සියට එන්න දෙන්නේ නෑ. කෑම පිඟාන ළඟටම බෙදලා දෙනවා, වතුරත් දෙනවා. කාපු කෑම පිඟානවත් හෝදන්න දෙන්නේ නෑ. අන්න එහෙම පිරිමි තමයි ගොඩක් වේලාවට කෑම කාපු පිඟාන වුණත් බිරිඳම හෝදන්න ඕන කියලා හිතන්නෙ. අම්මා අපේ තාත්තාටත් හැමදේම කරා. තාත්තාට කුස්සිය පළාතේ එන්න දුන්නේ නෑ. අපේ අම්මාට නම් උයන එක මහදෙයක් නෙවෙයි කියලා තමන්ගේ බිරිඳව හෑල්ලු කරන්නේ එහෙම අය තමයි. ගෙදර වැඩ, උයන වැඩ ගෑනු වැඩ කියලා හිතට කාවද්දන් ඉන්නෙත් එහෙම පිරිමි තමයි. මං හිතන්නේ ඒක තමන් හැදෙන වැඩෙන පරිසරය හා පවුල් පඩුබිමත් එක්ක තමන්ට වාසියට හදාගත්තු දේවල් කියලයි.
ඒ නිසා විශේෂම දේ ගෙදර වැඩවලට ගෙදර පිරිමියාගෙන් ලැබෙන පුංචි හෝ සහයට ස්තූතිවන්ත වෙන්න පුරුදු වෙන්න. ඔවුන්ගේ සහය ලැබුණ නිසා, වෙනදාට වඩා සතුටක් දැනුණ බව අවංකවම ඒත්තු ගන්නවන්න. කෑම වෙනදට වඩා රසින් වැඩි බවත්, ඔවුන් සමඟ ඉවීම විනෝදයක් බවත් අමතක නොකර පවසන්න.
ගැහැනු පිරිමි දෙගොල්ලොම රැකියාවට යන මගේ මිතුරු පවුල් මං දන්නවා. එයින් සමහරක් පවුල්වල පිරිමි අය උදෙන් ඇහැරලා බිරිඳට උයන්න උදව් කරනවා. පවුල් ජීවිතේකදී දෙන්නට දෙන්නාගේ සහයෝගය හැමතැනකදීම අවශ්‍යයි. උයන දේදී විතරක් ඒක ගැහැනු වැඩක් කියලා ගෙදර ගැහැනියට පවරනවට වඩා ලූනු ගෙඩියක් සුද්ද කරලා, පොල් ටිකක් ගාලා දීලා සහයෝගය දක්වන එකත් ගොඩක් වටිනවා. ඒක නිසා කිසිම පිරිමියෙකුගේ පිරිමිකමට හානියක් වෙන්නෙත් නෑනේ.
ඒ වගේම ගෙදර මහත්තයාගෙන් කිසි උදව්වක් නෑ කියලා චෝදනා කරනවාට වඩා, උදව් ලැබෙන විදියට එයාලාව පොළඹවා ගන්න ඕනේ අපිමයි. පිරිමි කියන්නේත් හැඟීම් දැනීම් තියන, මහන්සිය අමාරුකම් දැනෙන, ගැහැනු වගේම තමන්ගේ නිදහසට ආස කරන පිරිසක්. ඒ වගේම මූලිකත්වය ගන්න කැමති පිරිසක්. ඒ නිසා එයාලාව ආදරෙන් ගෙදර වැඩවලට හවුල් කරගන්න එක තියෙන්නේ අපේ අතේ. කිසිම දෙයක් ලේසි නෑ අමාරුයි තමයි. ඒත් උත්හාහ කරලා බැලුවොත් අනිවාර්යයෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා.
සුන්දර සතියක් ප්‍රාර්ථනා කරනවා!!!
හෂීණී මනමේන්ද්‍ර