News

මහනුවරට වතුර දෙන්න ගත් ණය මුදලින් සභාපතිට ලක්ෂ 186ක ජීප් රථයක්

මහනුවරට ජලය සැපයීම සඳහා ජපානයේ ජාතික සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා යටතේ ‘විසල් මහනුවර’ ජල සම්පාදන ව්‍යාපෘතියට ලබාදුන් මුදලින් ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 186ක මුදලක් ජීප් රථයක් මිලදී ගැනීමට ලබාගෙන ඇතත් එය ලබාගෙන නැති බව පසුව හෙළිව ඇත.

අදාළ ව්‍යාපෘතියට රුපියල් මිලියන 7146ක ණය මුදලක් ලබා දී ඇති අතර ජල සම්පත් මණ්ඩලය ව්‍යාපෘතියෙන් කරන ලද ඉල්ලීම් මත 2016 මාර්තු 18 වැනිදා රුපියල් ලක්ෂ 186ක මුදලක් ජල සම්පත් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ලබාදී ඇත්තේ ජීප් රථයක් මිලට ගැනීමටය. එහෙත් එම මුදලින් ජීප් රථයක් මිලදී ගෙන නොමැති බව විගණනයේද හෙළිව ඇත.

එම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 1669ක් වැය කර ජල මෙවලම් පරීක්ෂා කිරීම සඳහා විද්‍යාගාරයක් ඉදි කර ඇතත් ඊට අවශ්‍ය පුහුණු නිලධාරීන් මණ්ඩලයෙන් ලබා නොදීම නිසා විද්‍යාගාරයද වසා දමා ඇති බව වාර්තා වේ.

චමින්ද සේනාරත්න