මහමැතිවරණයක් නොමැතිව අග්‍රාමාත්‍ය ධුරය දැරීමට බලාපොරොත්තුවක් නොමැති බව මහින්ද කියයි
මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගත නොහැකි වුවත් ඊට මඟ පාදන ප්‍රබල දේශපාලන බල කඳවුරක් නිර්මාණය කිරීමට හැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියට අද (15) අත්සන් තැබිමෙන් අනතුරුවයි ඒ මහතා මේ බව පැවසුවා.
මහමැතිවරණයක් නොමැතිව අගමැති ධුරය දැරීමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර,තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහා තමන් අගමැති ධුරයෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට ඉඩ ලබාදුන් බවත් මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් පෙන්වා දෙනවා.
එසේම ඉදිරි කාලයේදී සිය ප්‍රධාන ඉලක්කය මේ වනවිට වසරකුත් මාස 3ක් පමණ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීම බවය එතුමා විශේෂ ප්‍රකාශය තුළින් අවධාරණය කළේය.