නවතම ප්‍රවෘත්ති

මහා බ්‍රිතාන්‍යයේ ඉතා කුඩා නිවෙස්වල සතුටින් ඉපිලෙන මිනිසුන් දුටුවෙමි

හැම වසරකම පාසා ලෝකයට නොවැම්බර් මාසය උදාවනවාට වඩා වෙනස් ලෙසකින් එංගලන්තයට නොවැම්බරය උදා වෙයි. මා ඔබට මේ ලියන මොහොතේත් සමර්සෙට් අහස මල්වෙඩිවලින් ආලෝකමත් වෙමින් නිවෙමින් තිබේ. ලියන මේසයෙන් එපිට ජනේලයෙන් පෙනෙන අහස අද වෙනදා මෙන් නොව විවිධ ආලෝකවලින් වර්ණ ගැන්වී නිවී යයි. 1605දී පළමුවැනි ජේම්ස් රජු ඇතුළු පිරිස මරා දැමීමට කළ කුමන්ත්‍රණයක් අසාර්ථක වූ පසු රටවැසියන් ගිනිමැල දල්වා සතුට සැමරූ බව පැරණි කතාන්දරවල කියැවෙයි. වසර හාරසියයකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත්, අදත් නොවැම්බර් පස්වැනිදාට ඒ සිද්ධිය සිහි කරමින් මේ රටේ මිනිසුන් විවිධ සැමරුම් පවත්වයි. මා අද ඔබට මේ ලියමන ලියමින් සිටින මොහොතේ ඔවුන් සමරමින් සිටින්නේ එයයි.

 

ඔක්තෝබර් තිස්එක්වැනිදා හැලෝවීන් අවසන් වූ විගස මෙහි වැසියෝ නොවැම්බරයේ මල්වෙඩි සඳහා සූදානම් වෙති. ඉන්පසු එන දෙසැම්බරය නත්තල වෙනුවෙනි. මෙහි අවුරුද්ද අවසන් වන්නේත්, අලුත් අවුරුද්ද ඇරඹෙන්නේත් මල්වෙඩි මැදය. සීතලේ ගෙවල් තුළට වී ගුලි වී සිටින්නට හිතෙන කාලයක මේ පුංචි නගරයේ මිනිසුන් එකතු වන්නට කුමක් හෝ හේතුවක් සොයාගනියි. මා ඔවුන්ගේ ඒ පුරුද්දට අතිශය ප්‍රිය කරමි. මිනිසාට, මිනිසා තරම් වූ කෙනෙක් තවත් නැතිකොට, මිනිසුන්ගෙන් වියුක්ත වීමට වඩා එකතු වීම මොනතරම් නම් අගේද?

මා වඩාත් කැමති එංගලන්ත වැසියන්ගේ සරල ජීවන රිද්මයටයි. ඇත්තටම මහා බ්‍රිතාන්‍යය යැයි කියූ සැණින් කෙනෙකුට සිහිවන්නේ විශාල ගොඩනැගිලිත්, සුඛෝපභෝගී නිවෙසුත් බව මා දනිමි. ඔබට කියන්නට ලන්ඩන් වැනි ජනාකීර්ණ නගර ආසන්නයේ හැරෙන්නට විශාල ගේට්ටු සහිත සුවිශාල මන්දිර වැනි නිවෙස් මෙහි ඇත්තේ කලාතුරකිනි.

 

මා ජීවත් වන සමර්සෙට් පමණක් නොව එංගලන්තයේ කඳුකර බිම්, එක්සත් රාජධානියට අයිති අනෙක් රටවල් ද්විත්වය වන වේල්සය සහ ස්කොට්ලන්තයේද ඇත්තේ එවැනි ඉතා කුඩා නිවෙස්ය. ඒවා හරියට ආරක්ෂාව උදෙසා සකසා ගත් කුඩා බංකර් වැනි ගෙවල්ය. ඇත්තටම සුරංගනා කතාවල මෙන් ඒවා අපූරු සුන්දරත්වයක් ගනී. ඒවාටම ආවේණික පිදුරු වැනි දෙයකින් අහසට එසවුණු උල් හැඩැති වහල සහ වටකුරු බිත්ති, මිදුල පුරා වවා ඇති මල් මේ නිවෙස්වලට ගෙන එන්නේ වෙනම ආලෝකයකි.

 

මා කලින් ජීවත් වූයේ මෙහි ප්‍රසිද්ධ ගමක් වන කාසල් කොම්බේ ගමට ඉතාම ආසන්නවය. දැන් ජීවත් වන්නේ ලෝකයට චෙඩාර් චීස් රැගෙන ගිය චෙඩාර් ජෝර්ජ් ගම්මානයට සමීපව නිසාදෝ එංගලන්ත ජන ජීවිතයේ සුන්දරතම කොටස්වලට ආසක්ත වී සිටිමි.

 

විවේකයක් ලැබුණ හැටියේ වේල්සයටත්, ස්කොට්ලන්තයටත් වසරේ කිහිප වතාවක්ම සංචාරය කරන්නේ කාර්යබහුල ජීවන රටාවෙන් මඳක් මිදී මේ කුඩා කුඩා ගෙවල්, කඳුකර ගොවිපළවල් නැරඹීමෙන් හිතට ගෙන දෙන අමුතු ප්‍රීතිය නිසාය. කඳුකරයේ එවැනි පුංචි කොටේජ් නිවසක් දවස් කිහිපයකට වෙන්කරවාගෙන, බැටළුවන්, අශ්වයන් සහ දිගු ලොම්වලින් වැසුණු, විශාල අං සහිත හයිලන්ඩ් ගවයන් බලමින් කාලය ගත කරන්නට මා ඉතා කැමැත්තෙමි. දුරකථනය නිවා දමා කැමතිම පොතක්, චිත්‍රපටයක් නැරඹීම මේ ගමන්වලදි මගේ පුරුද්දකි. එයින් කාර්යබහුල ජීවිතයේ වෙහෙස තවත් මාස ගණනාවකට සන්සිඳී මා අලුතින් ඉපදුණා වැනි සතුටකින් සිත පිරී යයි. එවිට ලංකාවේ ජීවත්වන කාලයේ පුරුද්දක් ලෙස රුවන්වැලි මහා සෑය අභිමුව වන්දනා කිරිම, මුහුදු වෙරළට ගොස් පැය කීපයක් ගෙවා දැමීම, ගංගා ඉවුරක ඇවිදීම වැනි දේවලින් මම මගේ ජීවන වෙහෙස නිවාගත් අයුරු මට සිහිවෙයි.

 

සොබාදහම යනු ඔබේ ජීවිතයේ වෙහෙස උරාගෙන නැවත ඔබට ජීවය දෙන මෙලොව ඇති ප්‍රබලම මානසික ප්‍රතිකාරයයි. ඒ බව මේ රටවල මිනිසුන් හොඳින් අධ්‍යයනය කොට ඇත.

මනරූ තීක්ෂණා

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න