නවතම ප්‍රවෘත්ති

මහින්ද මහත්තයා ජනාධිපති වුණොත් අපි ඉවරයි කියලා අපි දැනගෙන හිටියා

මුලතිව් උපන් ශකිලා කුඩා කාලයේ සිට අධ්‍යාපනයට, ක්‍රීඩාවට හා කලාවට දක්ෂතා දක්වන්නීය. ආර්ථික දුෂ්කරතා හේතුවන් උසස් අධ්‍යාපනය අත්හැර දමන ඇය මුලින්ම මුද්‍රණාලයක ද පසුව ඊළාම් අධිකරණයේ ද රැකියාවට යන්නීය. අනතුරුව හෙද පුහුණුව සඳහා යාපනය, රජයේ හෙද විදුහලට ඇතුළත් වන්නීය. යුද හමුදා රිවිරැස මෙහෙයුම සමයේදී හෙද පුහුණුව අතරමග නවතා නැවත මුලතිව් පදිංචියට ආ ඇය අනතුරුව ඊළාම් රජයේ මාධ්‍ය ඒකකය රැකියාව ලෙස තෝරාගන්නීය. එහිදී ඊළාම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනයන්හි වාර්තාකාරිනියක ලෙස රාජකාරි කරයි. එහිදී බොහෝ අත්දැකීම් ලබන ඇය එල්.ටී.ටී.ඊ. නායකත්වයේ මාධ්‍ය ආවරණය සඳහා ද සහභාගී වන්නීය. අද එතැන් සිට…

 

“රජය එල්.ටී.ටී.ඊ. එකත් එක්ක 2002 ගිවිසුම අත්සන් කළාට පස්සේ වන්නියේ ජනතාව ගොඩක් සතුටින් තමයි හිටියේ. ඔහොම තියෙද්දි 2005දී ජනාධිපතිවරණය ආවා. වන්නියේ තිබුණෙ නායකතුමාගෙ (ප්‍රභාකරන්ගේ) ඊළාම් පාලනය නිසා ලංකාවේ ජනාධිපතිවරණය එතරම් වැදගත් වුණේ නැහැ. හැබැයි ලංකාවේ ජනාධිපති වෙන්නේ කවුද කියලා කට්ටියම අවධානයෙන් හිටියේ. ඒ එක්කම අපට දැනගන්න ලැබුණා ජනාධිපති තරඟය ප්‍රධාන වශයෙන් තියෙන්​නේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි මහින්ද රාජපක්ෂ මහත්තයයි අතර කියලා. හැබැයි වන්නියේ මාධ්‍යවේදීන්ට මේ දෙන්නම එතරම් වැදගත් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණ ඡන්දය ගැන වන්නි මාධ්‍යයේ ලොකු ඉඩක් වෙන්කළේ නැහැ.”

මේ අතර 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ අතර පැවතියේ කරට කර ඡන්ද සටනකි. එහිදී ලක්ෂ 10ක් පමණ වූ උතුරේ දෙමළ ජනතාවගේ ඡන්දය තීරණාත්මක සාධකයක් වී තිබුණි. එහිදී පැහැදිලිව පෙනීගිය කාරණයක් වූයේ උතුරේ දෙමළ ඡන්ද පදනම රනිල් වික්‍රමසිංහට ඉතාමත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර තිබූ බවයි. එමෙන්ම කිලිනොච්චිය ඇතුළු වන්නි ප්‍රදේශයේ රජයේ පාලනයක් නොතිබූ බැවින් එහි පදිංචි ඡන්ද දායකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රජයේ පාලනය හා එල්.ටී.ටී.ඊ. පාලන සීමාවන් වූ ඕමන්ත හා අලිමංකඩ මුහමාලේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කර තිබුණි. නමුත් ඡන්දයට පෙර දින පැතිරගිය ආරංචියකින් කියැවුණේ එල්.ටී.ටී.ඊ.ය විසින් ජනාධිපතිවරණය සඳහා පැවති ඡන්දය වර්ජනය කරන ලෙස නියෝගයක් නිකුත් කර ඇති බවයි. එය එක්තරා අතකට 1988-89 භීෂණ සමයේ පැවති ජනාධිපතිවරණේදී දකුණේ දේශප්‍රේමී ව්‍යාපාරය නියෝග කළ පරිදිය. ඔවුන් පැවසුවේ ඡන්දය වර්ජනය කරන ලෙසය. නැතිනම් ඡන්දය ප්‍රකාශ කරන මුල් පස්දෙනා ඝාතනය කරන බවය. එහිදී නියෝගය කඩකළ කීපදෙනෙකු ඝාතනයට ලක්විය. ඒ ආකාරයට එල්.ටී.ටී.ඊ.ය  ප්‍රකාශ කළේ ද ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ අත කපා දමන බවයි. මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ එක් කාන්තාවක් පමණක් ඡන්දය ප්‍රකාශ කළ අතර එල්.ටී.ටී.ඊ.ය විසින් ඇයගේ අත කපා දැමූ බවටද ප්‍රචාරයක් ගියේය. මේ පිළිබඳව ශකිලාගෙන් විමසීමි.

“ජනාධිපතිවරණයේදී ඉහළින් අපට දැනුම් දුන්නේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා. හැබැයි ජනතාව එක්ක කතා කරද්දි අපට තේරුම් ගියා වන්නියේ ජනතාවගෙන් 90%ක් විතරම කැමැත්ත තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා. ඒකට ප්‍රධාන හේතුව වුණේ එතුමා මුල්වෙලා සටන් විරාම ගිවිසුමක් අත්සන් කරලා සාමය උදාකරපු නිසා දෙමළ ජනතාව නිදහස භුක්ති වින්දා. මහින්ද මහත්තයා ආවොත් යුද්ධ කරාවි කියලා හිතුවා. අපේ සංවිධානයෙනුත් රනිල් මහත්තයාට උදව් කරාවි කියලයි අපි හිතුවේ. එහෙම තියෙද්දි ඡන්දයට කලින් දවසේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් දැනුම් දුන්නා ජනාධිපතිවරණ ඡන්දය වර්ජනය කරනවා ඒ ගැන ප්‍රවෘත්ති පළකරලා ජනතාව දැනුවත් කරන්න කියලා.”

 

*ඒකට හේතුව?

 

“හේතුව දන්නේ නැහැ. මගේ මතකයේ හැටියට ඒ දවස්වල කිව්වේ දෙන්නගෙන් කවුරුවත් වැඩක් නැහැ, බොරුකාරයෝ දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා ප්‍රභාකරන් නායකතුමා කියලා. ජනතාවටත් ඡන්ද වර්ජනය හිතාගන්න බැරි වුණා. කොහොම වුණත් සංවිධානයේ දේවල් ප්‍රශ්න කරන්න බැහැනේ. අපි වර්ජනය ගැන මාධ්‍ය ප්‍රචාරයක් දීලා හිටියා. ඒක අපේ රාජකාරියනේ. ඒ වගේම කට්ටියට ඡන්දය දාන්න යන්න බැරි වෙන්න අපේ පැත්තෙන් පාරවල් දෙකම වහලා දැම්මා. නමුත් කලින් දවසක ගිය එක ගෑනු කෙනෙක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඡන්දය දැම්මා කියලා ආරංචි ලැබුණා. හැබැයි එයාගේ අත කැපුවා කියන කතාව බොරුවක්.”

ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව කරට කර පැවැති ඡන්ද සටනකින් ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂය. එහිදී විපක්ෂය චෝදනා කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදී ඡන්දය වර්ජනය කිරීමට අවස්ථාව සලසාගත් බවයි. එහි සත්‍යයක් තිබේද යන්න ශකිලාගෙන් විමසීමි.

“නායකතුමා (ප්‍රභාකරන්) කියන්නේ සල්ලිවලට ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒකනම් අපි කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි සැඟවුණු සැලැස්මක් නිසා ඒ තීරණය ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා.”

 

*හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරට ආවම යුද්ධය පටන්ගත්තා නේද?

“ගිවිසුම අත්සන් කරලා වැඩි දවසක් යන්න කලින් දෙපැත්තෙම සුළු සුළු සිදුවීම් අපට වාර්තා කරන්න ලැබුණා. ගිවිසුමට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයට සිවිල් ඇඳුමෙන් රජයේ පාලන ප්‍රදේශවල දේශපාලන කටයුතු කරන්න අවසර තිබුණා. ඒ නිසා සංවිධානයේ සාමාජිකයෝ කාර්යාල විවෘත කරලා දේශපාලන කටුයතු කරද්දි රජයේ ආරක්ෂක අංශ බාධා කරනවා කියලා තොරතුරු ආවා. අපි ඒවා ප්‍රවෘත්ති විදියට පළකළා. ඒ වගේම ආරක්ෂක අංශවල අය අනවසරයෙන් ඊළාම් පාලන ප්‍රදේශයට ඇතුළු වුණා කියලා ප්‍රශ්න කීපයක්ම වුණා. කීපදෙනෙක්ම අත්අඩංගුවට අරගෙන තිබුණා. හැබැයි මනුෂ්‍ය ඝාතන සිදුවුණේ නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාම තත්ත්වය වෙනස් වුණා. එයත් දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කළේ. ඒ නිසාම සාම සාකච්ඡාත් නැවතුණා. දෙපැත්තෙන්ම මනුෂ්‍ය ඝාතනත් සිද්ධ වුණා. ඒ එක්කම සටන්වලදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ මරණ වන්නියේ ගෙවල්වලට එන්න පටන්ගත්තා. ඒ වගේම දකුණෙ ගෙවල්වලට හමුදා මරණත් යන්න ඇති.”

 

ලබන සතියට…

යුද හමුදාව තීරණාත්මක මානුෂීය මෙහෙයුම ආරම්භ කරයි…

සනත් ප්‍රියන්ත