මහ බැංකුවේ දළ නිල සංචිතය ඩොලර් බිලියන 5ටත් අඩුයි
මෑත ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා මහ බැංකුව සතු දළ නිල සංචිත ප්‍රමාණය 2021 ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 05ට අඩු අගයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති මෙරට විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන නවතම වාර්තාවට අනුව එම අගය ඩොලර් බිලියන 4.8කි.
මෙම ඩොලර් සංචිතය ප්‍රමාණවත් වන්නේ මෙරටට මාස 3ක කාලයක් සඳහා භාණ්ඩ ආනයනය කිරීම සඳහා පමණකි. ඊට පෙර මාසයේ එනම් 2020 දෙසැම්බරයේදී දළ නිල සංචිතය ඩොලර් බිලියන 5.7ක් ලෙස සටහන් වී තිබිණි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මෙරට සංචිතවල යම් පසුබෑමක් වාර්තා වී ඇති නමුත් 2020 අගෝස්තු මාසයේදී එහි අගය ඩොලර් බිලියන 07 ඉක්මවා තිබිණි. මෑත කාලීන ඉතිහාසයේ එම සංචිතයේ ඉහළම අගයක් වාර්තා කර ඇත්තේ 2018 අප්‍රේල් මාසයේදීය. එය ඩොලර් බිලියන 10ට ආසන්න අගයක් විය.
නිල නොවන සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට දළ නිල සංචිතය 2021 පෙබරවාරි මාසය අවසන් වනවිට තවදුරටත් පහත වැටී ඩොලර් බිලියන 4.55 ක මට්ටමක පැවැතිණි. ඒ අනුව මාසිකව මෙරට ආනයනික භාණ්ඩ වෙනුවෙන් වැයවන ඩොලර් මිලියන 155 බැගින් වූ මාස 03ක කාලයක් සඳහා එය ප්‍රමාණවත් වන බව වාර්තා පෙන්වා දෙයි.
මේ අතර මෙම වසරේදී රජය විසින් ගෙවිය යුතු සමස්ත විදේශීය ණය වාරිකයේ සහ පොලියේ එකතුව ඩොලර් බිලියන 6.42ක පමණ වේ. එම අගය සටහන්ව ඇතතේ ණය වාරිකය ඩොලර් බිලියන 5.02ක් සහ පොලිය ඩොලර් බිලියන 1.4ක් වශයෙනි.
සංචිත මෙලෙස පහළ යෑම පිළිබඳව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ‘අරුණ’ කරන ලද විමසීමකදී ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ විදේශ ප්‍රේෂණ, අපනයන සහ සෘජු විදේශ ආයෝජන ඇතුළුව 2021 වසරේදී ඩොලර් බිලියන 32ක ආදායමක් අපේක්ෂා කරන බැවින් රජයේ ණය ගෙවීම් සහ සංචිත කළමනාකරණය පිළිබඳ ගැටලුවක් පැන නොනගින බවයි.
නයන තරංග ගමගේ