News

මාතරදි පාසල් සිසුවෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙසැ. 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු දෙසැම්බර් මස 03 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 17ක් වන ජාතුං කංකානම්ගේ සිතිජ සෞන්දර්ය යන මෙම ප්‍රධාන සැකකරු අද මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා ද පොලීසියට අවසර ලැබුනු බවයි.

මෙම ඝාතනය සදහා පැමිණි තවත් සැකකරුවෙකු වන වයස අවුරුදු 17ක් වන කුෂාන් නිම්නජිත් සමරසිංහ දිසානායක යන අය මාතර පොලිස් අධිකාරි කාර්යාලයට ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 24 වැනිදා පස්වරුවේ මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් ආසන්නයේදී සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ 19 හැවිරිදි සිසුවා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මියගිය රසිදු ගිම්හාන නම් එම සිසුවා මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 13 වසරේ ඉගෙනුම ලැබූ අයෙක්.

මාතර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.