මාස තුන නොපිරුණු ගැබිණි මවුවරුන්ට කොත්තමල්ලි නිසා දරු ගැබ අහිමිවෙන්න පුළුවන්
බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි කියා කීවාට විස්කි බ්‍රැන්ඩි බිව් බොහෝදෙනෙක් කොත්තමල්ලි බොන්නට පටන්ගත්තේ මෑතකය. ඒ ද මේ වනවිට ඇතිවී තිබෙන්නා වූ රෝග බය නිසා මිස කොත්තමල්ලිවල ගුණ අගුණ ගැන අවබෝධයක් ඇතුවාටම නොවේ. නමුත් කොත්තමල්ලි ඇතුළු අනෙකුත් ආයුර්වේද ඖෂධ භාවිත කරන්නේනම් ඒවා පරිභෝජනය කළ යුතු නිසි පිළිවෙල දැනසිටිය යුතු බව අපට කීවේ නාවින්න, බණ්ඩාරනායක අනුස්මරණ ආයුරේවේද පර්යේෂණායතනයේ ස්ත්‍රී රෝග හා ප්‍රසූති විශේෂඥ වෛද්‍ය සුරංගි සජීවනී පෙරේරාය.
“වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නැතුවත් ආයුර්වේද ඖෂධ භාවිතා කළ හැකි අවස්ථා තිබෙනවා. නමුත් කිසියම් ආකාරයක රෝග ලක්ෂණයක් ඇති විටෙක කවුරුවත් කිව්ව පමණින් හෝ අන්තර්ජාලයේ දැක්ක පමණින් හිතුමනාපේ ආයුර්වේද ඖෂධ භාවිත කිරීම සුදුසු නෑ. එහෙම කළා කියලා ඒවයේ ඖෂධීය ගුණය ලබාගන්නත් බෑ.”
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ එක් අරමුණක් වන්නේ නිරෝගී පුද්ගලයෙකුගේ නිරෝගීභාවය ආරක්ෂා කිරීමත් ප්‍රතිශක්තිය වර්ධනය කිරීමත්ය.
“ඉස්සර මිනිස්සු දේශීය ඖෂධ භාවිතා කළේ ලෙඩක් දුකක් හැදුනු වෙලාවට විතරක් නෙවෙයි. ඒ අයගේ ආහාර රටාවත් එක්ක දේශීය ඖෂධ බද්ධ වෙලා තිබුණා. හොඳම උදාහරණය තමයි තැම්බුම් හොද්ද. කොත්තමල්ලි, කහ, ගම්මිරිස්, සූදුරු, මහදුරු, වියළි ඉඟුරු දාලා හදන මේ තැම්බුම් හොද්ද ගොඩක් දෙනෙක් නිතර ගන්න ආහාරයක්. ඇත්තටම ඒක පෝෂණ ගුණයෙන් වගේම ඖෂධීය ගුණයෙනුත් ඉහලයි. මේ වගේ ආහාර රටාවකට හුරුවෙලා හිටිය නිසා අතීත පරම්පරාවේ ප්‍රතිශක්තිය ඉහල මට්ටමක තිබුණා. නමුත් දැන් ඉන්න අයගේ ජීවන රටාවන් ඇතුළේ එහෙම දෙයක් දකින්න නෑ. එහෙම නැතිව වසංගතයක් ආව ගමන් කොත්තමල්ලි බොන්න පටන් ගත්තට ඒකෙන් ප්‍රතිශක්තිය වැඩෙනවා හෝ රෝගවලින් ආරක්ෂා වෙනවා කියල එකක් වෙන්නේ නෑ.”
තේ හෝ කෝපි කෝප්පයක් වෙනුවට කොත්තමල්ලි කෝප්පයක් බීම ඉතා හොඳය. නමුත් පමණ ඉක්මවා කොත්තමල්ලි බිව් පමණින් කොවිඩ් රෝගයෙන් තියා කිසිඳු රෝගයකින් ආරක්ෂා වීමට නොහැකිය. එසේම ඒ මඟින් ශරීරයට සිදුවන විශේෂ යහපතක්ද නැති බව වෛද්‍ය සජීවනි පෙරේරා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
“ඒ වගේම තවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණාවක් තියනවා. දරු ගැබට මුල් මාස තුන සම්පූර්ණ නොවුණු ගර්භනී මවුවරුන් කොත්තමල්ලි පානය කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. ඒකට හේතුව තමයි කොත්තමල්ලිවල තියෙනවා ගර්භාෂය සංකෝචනය කිරීමේ හැකියාවක්. මේ හැකියාව නිසා මාස තුනට අඩු ගර්භනී මවක් කොත්තමල්ලි බහුල වශයෙන් පරිභෝජනය කළොත් දරු ගැබ විනාශ වෙන්නත් පුළුවන්.”
එසේම ඔබ කිසියම් රෝගයක් හෝ රෝග ලක්ෂණයක් වෙනුවෙන් දේශීය ඖෂධයක් මිලදී ගන්නවානම් එය අනිවාර්යයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ඖෂධයක්ම විය යුතුය. කොත්තමල්ලි, වෙනිවැල්ගැට, හීන් අරත්ත සහ වියළි ඉඟුරු 4: 2:1 අනුපාතවලට යොදා සකස් කරන ලද ‘සුව ධරණී’ එවැනි ඖෂධයකි. නමුත් එම ඖෂධය වුවත් ඔබ නියමිත මාත්‍රාවෙන් පිට පරිභෝජනය කරන්නේ නම් එහි උපරිම ඵල ලැබිය නොහැකිය.
“විශේෂයෙන්ම මම කාන්තාවන්ට කියන්න ඕන තමන්ගේ මුළුතැන්ගේ ඖෂධාගාරයක් කරගන්න. මුළුතැන්ගේ තිබෙන ගම්මිරිස්, වියළි ඉඟුරු ආදිය ඇරුණම වෙනිවැල්ගැට ටිකක්, හීන් අරත්ත ටිකක් ළඟ තියාගන්න. නමුත් මම අවධාරණය කරලම කියන්න ඕන මේ කිසි දෙයක් හිතුමතේ පාවිච්චි කරන්න එපා. ආයුර්වේද වෛද්‍ය ක්රමයේ වාත, පිත, කප ආදී වශයෙන් සංකල්ප තියනවා. ඒවාට අනුව අදාළ ඖෂධය කිසියම් කෙනෙක් භාවිතා කරන එක සුදුසුද මොන මාත්‍රාවෙන් ද ගන්න ඕන කියන එක නිර්දේශ කරන්න පුළුවන් වෙන්නේ වෛද්‍යවරයෙකුට විතරයි. එහෙම නොවුණොත් ඒකෙන් අපේක්ෂිත ප්‍රතිඵලය ලබන්න බෑ.”
නමුත් දෛනික ජීවිතයේ යම් යම් අවස්ථාවල පුරුද්දක් වශයෙන් දේශීය ඖෂධ භාවිතා කිරීමේ වරදක්ද නැත.
“කාටහරි දේශීය ඖෂධ යොදාගෙන උගුර සේදීමට අවශ්‍යනම් උණුසුම් වතුර ටිකකට කහ ස්වල්පයක්, ගම්මිරිස් ඇට ස්වල්පයක්, ලුණු ස්වල්පයක් එකතු කරලා දවසකට දෙතුන් පාරක් වුණත් උගුර සේදුවාට වරදක් නැහැ. ඒ වගේම දෙහි කොළ කිහිපයක්, යකි නාරං කොළ කිහිපයක්, ගම්මිරිස්, දෙහි බෑයක්, ඉඟුරු ස්වල්පයක් නටන වතුරට දාල උගුර සේදීමත් ඉතාම හොඳයි. ඒ ජලය බීමට වගේම හුමාලය ඇල්ලීම සඳහාත් ඉතාම සුදුසුයි. මේක කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වාම ගැටළුවකින් තොරව කරන්න පුළුවන් දෙයක්. ඒ වගේ දේවල් පුරුද්දක් විදියට කළත් රෝග ලක්ෂණයක් හෝ රෝගයක් වෙනුවෙන් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව දේශීය ඖෂධ පාවිච්චි කරන්න එපා කියන එක නම් නැවතත් මතක් කරන්න ඕන.”
ධනංජි ඒකනායක