මැතිවරණ දිනය ගැන නැවත සලකා බලන්න-පක්ෂ නායකයෝ මැතිවරණ කොමිසමට කියති
මහ මැතිවරණය පැවැත්වීම සඳහා යෝජනා කර ඇති දිනය පිළිබඳ නැවත සලකා බලන ලෙස දේශපාලන පක්ෂ නායකයන් ඊයේ (21 වැනිදා) මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ නායකයන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වූහ.
මැතිවරණය පැවැත්වීමට යෝජනා කර ඇති ජුනි 20 දිනය යළි සලකා බලන ලෙසත්, මැතිවරණයක් පැවැත්වීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෞඛය නිර්දේශ ලබාගන්නා ලෙසත් දේශපාලන පක්ෂ නායකයන් මෙහිදී කොමිසමෙන් ඉල්ලා ඇත.
මැයි මස මුල් සතියේදීම දිනය යළි සමාලෝචනය කිරීම සඳහා කොමිෂන් සභාව රැස්වන බව සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී ප්‍රකාශ කර තිබේ. අපේක්ෂකයන්ගේ මනාප අංක ලබාදුන් පසු ප්රචාරක කටයුතුද සිදුකිරීමේදී මතුවන ගැටලුද මෙහිදී දේශපාලන පක්ෂ නායකයන් පෙන්වාදී ඇත.
මැතිවරණ රැලි නොපැවැත්වීම, ගෙයින් ගෙට ගොස් ප්රචාරක කටයුතු සිදුනොකිරීම වැනි තීන්දු තීරණ මත ප්රචාරක කටයුතුවලට බාධාවක් මතුව ඇති බව ඔවුන් පෙන්වාදී තිබේ.
තවද මාධ්‍ය මගින් ප්රචාරක කටයුතු සිදුකිරීමේදී සම අයිතිය ලැබීම පිළිබඳ ගැටලුවක් පවතින බව දේශපාලන පක්ෂ නායකයන් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් කොවිඩ් -19 වෛරසය පැතිර යන කාලය තුළද මැතිවරණ ප්‍රවර්ධන කටයුතුවල නිරත වූ බවට ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් මෙහිදී පෙන්වාදී තිබේ.
මේ අතර අපේක්ෂකයන් සඳහා මනාප අංක නිකුත් කිරීම මැයි මස 04 වනදා සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මැයි මස 02දාට පෙර තීන්දුවක් ලබාදෙන බවද කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පක්ෂ නායකයන්ට පොරොන්දු වී ඇත.
උදයජීව ඒකනායක
