මැයි මුල රිෂාඩ්ගේ විශ්වාසභංගය විවාදයට නොගතහොත් පාර්ලිමේන්තුව ගෙනියන්න දෙන්නෙ නෑ
ඇමැති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊළඟ පාර්ලිමේන්තු සතිය ඇතුළත ලබා නොදුනහොත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට ඉඩ නොදී දැඩි අරගලයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්රි මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
කරුණු දහයකින් යුත් චෝදනා ඇතුළත් කරමින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේ ප්රධානම කරුණු වන සැකකරු මුදා ගැනීමට රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා යුද හමුදාපතිවරයාට බලපෑම් කළ බවට වූ කරුණු මේ වන විට ඊට යුද හමුදාපතිවරයා ප්රතිචාර දක්වා ඇති නිසා සනාථ වී තිබේ.
අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් දිනය තීරණය කිරීමට පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගැනීමට නොහැකි වූ අතර පසුව කථානායකවරයා නිවේදනය කළේ ලබන 18 වැනිදා හා 19 වැනිදා දින ඒ සඳහා දින නියම කරන බවයි.
කෙසේ වෙතත් ඊට පෙර රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් තේරීම්කාරක සභාවක් පත් කර විශ්වාසභංගය කල් මැරීමක් සිදු කිරීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව අලුත්ගමගේ මහතා පැවසීය.
එහෙත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂයේ සහාය ලබා දෙන්නේ රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංගයට ලබන පාර්ලිමේන්තු රැස්වීම් සතියේ දිනයක් ලබා දුනහොත් පමණක් බවත් මන්ත්රීවරයා පැවසීය.
එසේ නොවුණහොත් පාර්ලිමේන්තු රැස්වීම් කරගෙන යාමට ඉඩ ලබා නොදෙන බව ඔහු සඳහන් කළේය. ‘‘රිෂාඩ්ට එරෙහිව ගෙනා විශ්වාසභංගය මුස්ලිම් ජනතාවට එරෙහිව ගෙනා එකක් නෙවෙයි. එයාලා ආරක්ෂා කරගන්න ගෙනා අනු යෝජනාවක්. ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති කරුණු බොහෝමයක් දැනටමත් ඔප්පු වෙලා. ඔක්තෝබර් මාසයේ 14 වැනි දින හදිසියේ ගෙනා විශ්වාසභංග යෝජනාව ඒ මොහොතේම විවාදයට දින නියම කළා.
දැන් නියම ආකාරයට ගෙනා විශ්වාසභංග යෝජනාව කල් දානවා. ඒ රිෂාඩ් ආණ්ඩු පක්ෂයේ දාපු ගෝරනාඩුව නිසා. ඒ නිසා ලබන රැස්වීම් සතියේ ඒක විවාදයට නොගතහොත් සභාව ගෙන යන්න ඉඩ තියන්නේ නැහැ’’ යැයි මන්ත්රීවරයා පැවසීය.