News

යාපනය විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨ සිසු දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙකුට තුවාල

යාපනය,විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය,අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ(24) සවස ඇති වු ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව විශ්ව විද්‍යාල සිසුන් පවසයි.

විශ්ව විද්‍යාල සිසුන් පැවසූවේ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් අතර වු ගැටුමකින් තුවාල ලැබු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් එලෙස රෝහල්ගත කොට ඇති බවයි.
බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇති වු ගැටුමකින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද සිංහල සිසුන් පිරිසක් එලෙස තුවාල ලබා ඇති බවද විශ්ව විද්‍යාල සිසුන් පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ආරක්ෂක අංශයන්ගෙන් සිදුකළ විමසීමකදී ආරක්ෂක අංශ පැවසුවේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් රෝහල් ගත කොට ඇති අතර,සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් නොලැබි ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලක සභාවේ නිළධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී පැවසුවේ සිද්ධියක් වාර්තා වි ඇති අතර,සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

වවුනියාව – මාධව කුලසූරිය