News

යාපනය සිට ඉන්දියාවට නැව් සේවයක් ලබාදීමට කටයුතු කරනවා – ඩග්ලස් දේවානන්ද

යාපනය සිට ඉන්දියාව දක්වා නැව් සේවාවක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ජා කොට තීරණයක් ලබාදෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. කිලිනොච්චිය,රත්නපුරම් ප්‍රදේශයේ ගණදේවි කෝවිලේ ඊයේ(24) සවස පැවැත්වු වැඩසටහනකට එක්වෙමින් හෙතෙම එලෙස පැවසුවේය.

ඉන්දියාවේ සබරිමලෙයි පිහිටි අයියප්පර් කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගිවන උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතිවිශාල ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අදාළ නැව් සේවාව ක්‍රියාත්මක කිරීමට සාකච්ජා කොට කඩිනමින් විසදුමක් ලබාදෙන බවද අමාත්‍යවරයා එහිදි පැවසුවේය.

අයියප්පර් කෝවිලේ පූජාවන් වෙනුවෙන් සහභාගිවීමට නියමිත බැතිමතුන් පිරිසක් අමාත්‍යවරයා හමුවු අවස්ථාවේ අමාත්‍යවරයා එලෙස පැවසුවේය. ඉන්දියාවේ අයියප්පර් කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්ගේ ජනතාව විශාල පිරිසක් සහභාගිවන අතර,අදාළ පිරිස් ගුවන් මගින් ඉන්දියාව වෙත යාමේදී විශාල මුදලක් වැයවන බැවින් නැව් සේවාවක් හරහා අඩු මුදලකට සිය වන්දනා කටයුතු වෙනුවෙන් අවස්ථාවක් ලබාදෙන ලෙසට බැතිමතුන් ඉල්ලා සිටියහ.

පසුගිය වසරේදීද අයියප්පර් කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගිවන පිරිස් වෙත ගමන් කිරීමට නැව් සේවාවක් ආරම්භ කරන ලෙසට රජය වෙතින් ඉල්ලීමක් කළ අතර, ඒ වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් පසුගිය වසරේ නොලැබුණ බවද බැතිමතුන් පවසති.

උතුරු නැගෙනහි ප්‍රදේශයන්ගේ පිරිස් 10000 කට ආසන්න පිරිසක් ඉන්දියාවේ පූජාවන් වෙනුවෙන් සහභාගි වන බව බැතිමතුන් පැවසූහ.